පතිනියකගේ සටහන් – 9

0
924

“නංගිගේ වෙනසක් මට පේනවා තාරු.. ” බොහෝ වෙලාවක් නිහඬව කල්පනා කරමින් හිටිය භානුක කියන්නේ කල්පනා බරව.

“කැම්පස් එකේ වැඩ වැඩි ඇති භානු දැන්. මං නංගිට ගෙදර වැඩ කරන්න ඉඩ නොදුන්නට එයා ඒවාත් බලලා කරනවනෙ. මහන්සි ඇති. අපි හෙට අනිද්දා දිහාට ඩිනර් එකකටවත් යං කෙල්ලව අරන්”

මං භානුගේ හිත හදන ගමන්ම මගේ එකම නෑනා සරසිට මෙහෙම වෙන්න හේතුව හිතන්න ගත්තා.

සරසි සරසවියට යන්නේ අපේ ගෙදර ඉඳන්. සාම්ප්‍රදායික නෑනෙක් නොවී අක්කෙකුටත් වඩා ඇගේ මිතුරියක් වෙන්න මං උත්සාහ කරන නිසා මමත් සරසිත් අතර රණ්ඩු ඇත්තෙම නැති තරම්. ශොපිං කරන වෙලාවක ඇඳුමක් තෝරා ගන්න, කෑමකට ගිය වෙලාවක රහ වැඩිම කෑම තෝරන්න කරන පොඩි පොඩි රණ්ඩු හැර සරසිටත් මටත් රණ්ඩු වෙන්න හේතු තිබුණේ නැහැ.

ඉතින් අපේ ගෙදර ඉන්න නංගි දුකින්. මම ඒ ගැන සොයා බැලිය යුතුමයි.

මං නංගිගේ කාමරයට එබුණේ ඇයව කතාවට අල්ලා ගන්න හිතාගෙන. මට එන්න අවසර දීලා නංගි දඩිබිඩියේ ඇඳෙන් බැස්සේ කඳුලක් පිහින ගමන් බව මට පෙනුණා..

කියවන්න :  හරියට අත් සෝදන්නේ කොහොමද?

නෑනෙකු නොවී අක්කෙක් වීමේ වටිනාකම ගැන මට හීන් ආඩම්බරයක් ඇති කරමින් නංගි ඇගේ කතාව මට කියන්න අරන්.

ගැහැණු ළමයින්ගේ පොදු කතාව. වංචාකාරී ප්‍රේමයක අවසානය කඳුලක් බව තේරුම් ගැනීම.

නංගි ඉන්නේ වේදනාවෙන්..ඒ සමානම කෝපයකින්.

“අක්කට මතකද මං ෆේස්බුක් වීඩියෝ වගයක් පෙන්නුවා. ජනප්‍රිය කොල්ලෙකුට ආදරේ කරලා ඒ කොල්ලා බූට් තිබ්බා කියලා ගර්ල් කෙනෙක් ලයිව් ඇවිත් වස බොන්න හදනවා. අක්කා කියන්නේ මටත් කැම්පස් එකේ හැමෝටම කසුන්ගේ ජරා ගති ටික කියන්න හිතෙනවා. එයාගේ ඉස්සරහම වස ටිකක් බොන්න හිතෙනවා”

ප්‍රේමයේ විරහව වඩාත් ළඟ වෛරයට. මං ඒ බව දන්නවා. ඒත් නංගිට මේ වෙලාවේ ඇවිලෙන්න දීලා කිසිම තේරුමක් නැහැ.

“ඔස්කාර් සම්මාන අරගත්තම ලේඩි ගාගා එයාගේ එක්ස් බෝයිට කීවෙ ඔහොම නෙවේ චූටි. එයා බ්‍රේකප් වෙනකොට බෝයිට කීවලු කවදහරි උපරිම සාර්ථක වෙන බව. එයා ඒක කළා. ඒ බව සම්මානය අරන් ඒ මනුස්සයට මතක් කළා. අර ලයිව් ඇවිත් අඬපු ගර්ල්ව කීදෙනෙක් විහිලුවට ගත්තද. එයාගේ වචන විහිලු වෙලා ඉවරයි. වේදනාව උනත් පෙන්නන්න ඕන විදියක් තියනවා. අෆෙයා එකක් කියන්නේ පෞද්ගලික දෙයක්. ඒක ඉවර වුණු ගමන් ඒක පබ්ලික් ජෝක් එකක් කරගන්න නරකයි. ඔයා කසුන්ට බනිනකොට හුඟක් අය ඒවා අහන් ඉන්නේ හිනා වෙන්න හේතු හොයන්න. අපි ටික ටික වේදනාව නැති කරගමු. එතකන් කේන්තියට ලොකු දේවල් නොකර ඉන්න දෙන්න ඉඩ දෙන්න”

නංගි ටික ටික තැන්පත් වෙන බව මට හිතුණා.

කියවන්න :  බොලිවුඩ් නිළි, සෝනම් කපූර් ගෙන් ලියුමක්...

“අපේ ජීවිතේට එන්න යන්න මිනිස්සුන්ට පුලුවන් නංගි. ඒත් යන අය අපි අමතකම කරන්න ඕන. හරිද. ආපහු එන්න ඉඩ දෙන්න ඕනත් නෑ. එනකම් බලන් ඉන්න ඕනත් නැහැ”

ප්‍රේමයක කඳුලු හිතෙන් ඇහෙන් මැකෙන්න ටික කාලයක් යාවි. ඒත් නංගි හිත හදා ගන්න බව මට විශ්වාසයි. ගෑනු ළමයෙක් කියන්නේ වැටෙන්න ඕනෑම නැති කෙනෙක්.

“දැන් වොෂ් එකක් දාගෙන ඇඳගන්න. අපි යං ඩිනර් ගන්න එළියට. අයියට ටිකක් ලොකු දඩයක් දාමු. එහෙමනෙ හිත හදා ගන්නේ”

නංගි හිනා වෙන බව දැකලා මං කාමරෙන් එළියට ආවේ සතුටින්. අක්කා කෙනෙක් හැටියට මං සාර්ථකයි.
ඒ මදි ද..

-නිබන්ධිකා-