හතලිස් තුන්වන දිගහැරුම ,
මා හට ඉතා ලස්සන මෙන්ම පිරිපුන් කොණ්ඩයක් හිමිවී තිබුණි.අනතුරේදී වීදුරු කටු මගේ හිසෙහි ඇනීම නිසා ඒවා ඉවත් කිරීමට ඉතා සැර බෙහෙත් වර්ග යොදා ගෙන තිබූ අතර ඒ හේතුව නිසාත්,වීදුරු කටු නිසා ඇතිවූ කැපුම් නිසාත් එම අවස්ථාවේ මගේ හිස කෙස් අධික ලෙස ගැලවී යන්නට විය.මගේ දණහිසට මැහුම් හයක් යොදා තිබූ අතර මාසයක් පමණ මා ඇවිද්දේ කිහිලිකරු ආධාරයෙනි. කාර් රථයේ කොහේ හෝ තදින් වැදීම නිසා මගේ පපුව ද අධික ලෙස රිදුම් දෙමින් තිබුනි.ඒ වගේම මගේ මුළු හිසම සහ එක් ඇහිබැමක් සම්පූර්ණයෙන්ම වෙළුම් පටිවලින් ඔතා තිබුණි.එම වෙළුම් පටි මාසයක් පමණ තබාගෙන සිටීමට මට සිදුවුනි.මන්ද එරට තාක්ෂණය අනුව මගෙ නලලෙහි තුවාල වී තිබුනු ස්ථාන වලට මැහුම් දැමීම වෙනුවට,සම එකට යාවන පරිදි අලවා තිබීමයි. මා ගමන් කළ කාර් රථය පසුව මා දුටු අතර එයට සිදුවී තිබූ හානිය සලකා බැලීමේදී මගේ ජීවිතය බේරා දීම පිළිබඳව මා අදහන සියලු දෙවිවරුන්ට මා හදවතින්ම ස්තූතිවන්ත වෙමි.ඒ ආකාරයෙ විශාල අනතුරකින් මා දිවි ගලවා ගැනීම ඇත්ත වශයෙන්ම හාස්කමක් ලෙස මා සලකමි.
මාසයක් පමණ මට විවේක ගැනීමට සිදු වූ අතර emirates ආයතනය විසින් මට අවශ්‍ය බෙහෙත් සහ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් සලසා තිබුණි.ඒ වගේම මාගේ මිතුරු මිතුරියන් සියලු දෙනාමද මා ඉතා හොඳින් රැකබලා ගත්හ.සියල්ල එසේ සිදුවෙද්දි මා අනතුරට පත් වූ වග මගේ දෙමාපියන්ට නොකියා සිටීමට මා වග බලා ගත්තෙමි.ඔවුන් ඉතා කලබලයට සහ දුකට පත් විය හැකි බැවින් මා මුහුණ දුන් අනතුර පිළිබඳ කිසිදු තොරතුරක් මගේ දෙමාපියන්ට නොකියන ලෙස මා මගේ මිතුරු මිතුරියන්ටද දැනුම් දුන්නෙමි.රෝහල්ගත වී සිටි මා මදක් සුවය ලැබූ පසු නැවත මා නවාතැන් ගෙන සිටි නවාතැන කරා පැමිණියෙමි.ඒ අතර මගේ ගෙලෙහි පලඳාගෙන සිටි සුරය තවදුරටත් තබාගැනීමට මට අතිශය බියක් දැනුනි.ස්වාමීන් වහන්සේ විසින් ආහාරයට නොගන්නැයි පැවසූ යමක් අහම්බෙන් මෙන් මට කැවීම නිසා මා අනතුරට පත් වීම මා හට ලැබුණු දඬුවමකැයි මට සිතුනි.එම නිසා නවාතැනට පැමිණි පසුව මම එම සුරය ගලවා විසි කළෙමි.එම සුරය සතුව විශාල බලයක් තිබෙන්නට ඇතැයි මා අදටත් විශ්වාස කරන්නෙමි.
කෙසේ හෝ මාසයක් විවේක ගෙන ඉන්පසුව මා ලංකාවට පැමිණියෙමි.මා මුහුණ දුන් අනතුර පිළිබඳව සියලුම විස්තර දෙමව්පියන්ට මා පැවසුවේ එවිටය.ඔවුන් ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව අතිශය දුක් විය.කල්ගත වීමත් සමග සම්පූර්ණ සුවය ලැබූ මා සුපුරුදු පරිදි මගේ රාජකාරි වල යෙදෙන්නට වීමි.
මා ලංකාවට පැමිණ නිවසේ සිටින එක් දිනක මගෙ නංගි පැමිණ පුවත්පතක් පෙන්වා ,එහි ලංකාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න පිළිබඳව ලිපියක් පළවී ඇතැයි පැවසීය.ඇය මට එය පෙන්වූ හේතුව කුමක්දැයි මා නොදන්නා අතර මම ද එතරම් විශේෂ හැඟීමකින් තොරව එම පුවත්පත අතට ගතිමි.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කිසිඳු උනන්දුවක් නොතිබූ මා නංගි පෙන්වූ ලිපිය දිග හැර බැලුවෙමි.හෂාන් තිලකරත්න නැමැති ක්‍රීඩකයාගේ විස්තර සඳහන් වූ එම ලිපියෙහි ඔහුගේ ඉතා ලස්සන ඡායාරූපයක් විය.සුන්දර සිනහවකින් යුතු ඔහුගේ එම ඡායාරූපය දුටු විගස මට ඇති වූ අමුතුම ආකාරයේ හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.එය කිසියම් ආකාරයක මෘදු හැඟීමක් වැනි යැයි කීවොත් මා නිවැරදි ය .ඔහුව නුදුරේදීම දිනයක දී මට මුණ ගැසේවී යැයි සිතුවිල්ලක් එකවරම මගේ සිතට ඒ මොහොතේ ඇති විය.ක්‍රිකට් වලට ඉතා ආදරය කළ මගෙ නංගි ඒ පිළිබඳව මා හට තව බොහෝ විස්තර මට පැවසීය.නමුත් ඒ වන විට ක්‍රිකට් පිළිබඳව එතරම් උනන්දුවක් නොතිබුණු මා ඒවාට එතරම් ඕනෑකමෙන් සවන් නොදුන්නෙමි.ඉන්පසුව මගේ නිවාඩු දින අවසන් වූ පසු මා නැවත ඩුබායි බලා පිටත්ව ගියෙමි.
ඩුබායි හෝටලයක දී මට මුණ ගැසුණු එශාන්ත – කුමී නැමති ශ්‍රී ලාංකික යුවළක් පසුව මගේ ඉතා හොඳ මිතුරන් බවට පත් විය.මගේ සම්පූර්ණ නමෙහි ” සඳමලි ” යනුවෙන් කොටසක් ඇති බැවින් ඔවුන් මා ඇමතුවේ ” සඳ ” කියාය. ඩුබායි හි බොහෝ දෙනා සිකුරාදා දිනවල දී නිවාඩු බැවින් ඔවුන් එදිනට නිවෙස් වලට වී අවන්හල්වලින් රැගෙන එන ශ්‍රී ලාංකික ආහාරවල රස බලන අතර ඇතැමුන් ශ්‍රී ලාංකික ආහාර නිවෙස් වලම සැකසීමට උනන්දු වෙති.එශාන්ත නැමැති මගේ මිතුරා බොහෝ සිකුරාදා දිනවල දී දුරකථනයෙන් මට අමතා මා රාජකාරි වල යෙදෙනවාද නැතිනම් විවේකීව පසුවනවාද යැයි විමසා බලයි.මා රාජකාරියේ යෙදී නොමැති දිනයක් නම් ඔවුන් ශ්‍රී ලාංකීය ආහාර පාර්සලයක් මගේ නවාතැනට ගෙනත් දීමට පුරුදු වී සිටියහ.ඔවුන් මා හට ඉතා හිතවත් අතර වෙලාවක් ලැබුණු විගස මා බැලීමට එන ඔවුන් අසනීපයක් වූ විට පවා මා ගැන සොයා බැලීමට අමතක කළේ නැත
මතු සම්බන්දයි