අවන් හලේ මතු මහලට සාගරය රළ නගන හැටි මැනවින් පෙනේ. ඈත දියඹ සිට පෙරලි පෙරලී එන රළ, මෑත වෙරළේ දී බිඳී විනාශ වී යයි. රැල්ලක් ඒ තරම් දුර කතර ගෙවා ගෙන එන්නේ වෙරළේ හැපී මිය යන්න දැයි සිතෙත්දී හද තුළ ශේෂ වන්නේ හිස් හැඟීමකි. ඇතැම් විට ජීවිතය ද එසේ ය. අප අපේ ගමන කෙළවර කරන්නේ වෙනත් අය නිසාවෙනි. ඇතැම් විට අප ජීවිතය වෙත එන්නේ ම ඔවුන් සොයා ගැනීමේ අරමුණ ඇතිව ය.
අපරාජිතා සයුර දෙස බලා ගෙන තේ උගුරක් බීවා ය.
ලංකාවට ඇවිත් යන්න එන බව අරවින්ද ට කියන්නයි කීවාට අනන්‍යා එය කනකට ගත්තේ නැත. තාත්තා යනු දැන් ඇගේ ජීවිතයේ ඇල්මැරී ගිය මතකයකි. ආතැම් විට ඇය ඒ තත්වයට පත් ව සිටින්නේ උවමනාවෙන් ම යයි කිව හැක. තාගැන පමණ ආදර මතක ඇය හිතා මතා ම හිත් පත්ලේ වළ දැමුවා ය. ආයෙ ආයේ ඒවා ගැන මෙනෙහි කරමින් සතුටක් හෝ දුකක් විඳින්නට දැන් ඇය ට උවමනා නැත. සතුටක් හෝ දුකක් නැතිව යම් සන්ධිස්ථානයක් හරහා ගමන් කළ හැකි නම් හිත ඒ පිළිබඳ උදාසීනත්වයකට හෝ දැඩි බවකට පත් ව ඇතැයි සිතිය හැක. එතකොට ගෑනු හිත් යකඩ වේ. අනන්‍යා ටත් දැන් ඕනෑ මටසිළිටි සුනම්‍ය යුවතියක ලෙස ජීවිතය පිළිගන්නට නොව අම්මා වාගේ යකඩ ගැහැනියක වන්නට ය.
“ආවහම දැනගනීනෙ”
අවසන ඇය හිස් හැඟීමකින් එසේ කීවා ය.
“අරවින්ද මට දොස් කියයි. මං ගැන වැරදියට හිතයි. මං අනන්‍යාව ගෙන්න ගත්ත කියයි එයාට කියන්නෙවත් නැතුව. මේ ළමය ඉතිං කියන්නෑනෙ. ඕව කියන්න සැරෙන් සැරේට කෝල් කරන්නත් මං කැමති නෑ. කොහොමත් ඩිවෝස් එකෙන් පස්සෙ එයා මිසක් මං කෝල් කරල නෑ. ආයෙ මට ඕවට වැරදිකාරය වෙන්න ඕන නෑ. කූරු ගාන්න ගාන්න මඩ කැළතෙන එකනෙ වෙන්නෙ”
අපරාජිතා සන්සුන් ස්වරයෙන් මිමිණුවා ය. දේශිකා හිටියේ අනන්‍යා කෙරේ තුනී නොවූ නොරිස්සුමෙනි. ඇය මේ තරම් හිතුවක්කාර නොවූවා නම් හොඳ යයි දේශිකා සිතයි. අනිත් අතට ඇය ඉදිරියේ දී කෙතරම් හිතුවක්කාරකම් කරාවිද, ඇය මෙල්් කර ගන්නට අපරාජිතා ට හැකි වේද කියා හෝ දේශිකා ට සිතා ගත නො හැකි ය.
“දැන් එතකොට එයා ඩිග්රි එක කම්ප්ලීට් නොකර මෙහෙ නතර වෙන්නද හදන්නෙ…”
“ඩිග්රි එකට වඩා මට දරුව වටිනව දේශි. මං එයාට බල කරන්නෙ නෑ. හිත සන්සුන් වුණාම එයාට හොඳයි කියල හිතෙන දෙයක් තෝරගත්තාවෙ”
“තමුසෙ අම්ම නේද…”
එවර දේශිකා ගේ කේන්තිය පිටතට පැන්නේ ය. අපරාජිතා ඒත් සන්සුන් ව සිනහ වූවා පමණ ය.
“එයා ඔයාට ඕන විදිහට වැඩ කරන විදිහට දැන්වත් කන්ට්‍රෝල් කර ගන්නව”
“අපිට ඕන විදිහට එයා හිටියනෙ දේශි. අපි කිව්ව නිසානෙ යූකේ ගියෙත්. අපි අම්මල වුණා කියල ළමයි හැම දාම අම්මල කියන දේ කරන්නෙ නෑ. එක දවසකදි එයාලට ඕන වෙනව එයාල කැමති දේ කරන්න. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්…ඒත් එතනින් තමයි එක්ස්පීරියන්සස් ගන්නෙ. මං හිතන්නෙ අනන්‍යා ට්‍රෙවීන් ව තෝරගෙන කළෙත් ඒක”
“ප්‍රශ්නෙ ඒක නෙවේ. ඔයා වගේම එයා හිතුවක්කාරයි. එයාගෙ තාත්ත වගේම ඔලමොට්ටලයි”
අපරාජිතා එවර හඬ නගා සිනහ වූවා ය. ඉන් සිදු වූයේ දේශිකා තව තවත් නො රිස්සුම් වන එකයි.
“එයා එක දවසක එයාගෙ දේශි පුංචා වගේත් වෙයි”
තේ බීමෙන් අනතුරුව ඔවුහු ගුවන් තොටුපළ බලා පිටත් වූහ. අපරාජිතා රිය පැදවූයේ සෙමෙනි. අනන්‍යා කී පරිදි ඇය ගුවන් තොටුපළෙන් පිටතට පැමිණිමට තව බොහෝ වෙලාව තිබේ. නමුත් අපරාජිතා පාන්දර සිට ම පිබිදගෙන සූදානම් වූවා ය. ටික කලකට පසු අනන්‍යා තුරුලු කොට වැළඳ ගැනීමේ දැවැන්ත උවමනාවක් ඈ තුළ තිබී ඇති බව අපරාජිතාට වුව දැනුණේ ඒ වෙලාවේ ය.
ජීවිතේටත් උරුම ඍතු තිබේ. ශරත් සමයේ පත් සිඳ ගෙන ගසක් සැහැල්ලු වන්නට තැත් දරන්නේ ය. ශරතය සතු වෙනම සුන්දරත්වයක් තිබේ. දලු ලෑම ට සේ ම පත් වැරීමට ද ගහකට අයිතියක් තියේ. මල් දැරීමට සේ ම මල් වැරීමට ද ගහකට අයිතියක් තිබේ. ඍතුවක් යනු ඒ අයිතිය රැගෙන එන මාහැඟි දූතයෙකු මෙනි. ගිම්හානයේ ද ශරතයෙහි ද ශිශිරයෙහි ද කාල තරණය කොට යළිත් ගහක් බලාපොරොත්තු වන්නේ වසන්තයේ දලු දා මල්බර වීමට ය. අනන්‍යා ගෙන් ද ඈත් ව ජීවිතය තුළ තනි වීමේ උවමනාවක් ටික කලකට අපරාජිතා තුළ ඇති වී බව ඇත්ත ය. නමුත් දැන් ඇය ට යළිත් ඇය සිය ළයෙහි හොවා ගන්නට උවමනා ය.
“තාමත් නෑනෙ ඉතිං”
ගුවන් තොටුපළ රථ ගාලට වී, අනන්‍යා ගෙන් ඇමතුමක් එන තුරු කල් මරමින් වෙහෙසට පත් ව දේශිකා කෙඳිරි ගෑවා ය.
“බොරුවට වේලාසන දුවං ආව. මං කිව්වෙ වෙලා වැඩියි කියල”
“අපි පරක්කු වෙලා කෙල්ලට බලං ඉන්න වෙනවට වැඩිය ඒක හොඳයිනෙ”
රියෙහි වීදුරුවට පිරිමි අතැඟිල්ලක් තට්ටු කළේ ඒ වෙලාවේ ය. අපරජිතා වීදුරුව පහත් කළා ය. කවුළුව ළඟ පහත් වූයේ අරවින්ද ය.
“එයා ෆල්යිට් එකටත් ඇවිල්ලයි මට මැසේජ් එකක් දාල තිබුණෙ එනව කියල. ඔයාට හරි මට කියන්න තිබුණා අපූ”
දේශිකා ගේ මූණ බැලුවා මිස අපරාජිතා එකට එක කියන්නට ගියේ නැත. දැන් ඇය තුළ ඇතිව තිබෙන මේ නිවුණු ශාන්තිය මීට ටික කලකට පෙර තිබුණේ නෑ නේද කියා අපරාජිතා ට ම සිහි විය. එවන් කලෙක අරවින්ද මේ චෝදනාව කළේ වී නම් ඇය ඔහු ගේ ඇඟට කඩා පනිනු ඇත. මේ මොහොතේ ඇය ට සිතුණේ ‘අන්තිම තත්පරයේ හෝ තාත්තා ට නො කියා ඉන්න කෙල්ලට බැරි වුණා එහෙනම්’ කියා ය.
අපරාජිතා රිය දොර හැර ගෙන පිටතට ආවා ය. තමන් ගේ දුව පිළිගනු වස් අම්මා හා තාත්තා වශයෙන් ඔවුන් දෙදෙනා එක තැනකට ආ එකේ වරදක් නැතැයි සිතන්නට ඇයට ඕන විය.
“දුව වැකේශන් ඉන්නකල් ඔයා වෛද්‍ය රෝඩ් එකේ ගෙදරට යන්න. ඔය ඇනෙක්ස් එකක ඉඩකඩක් නෑනෙ”
අරවින්ද ගේ ඒ යෝජනාව එක හෙළා පැහැර හැරිය හැකි වූයේ නැත.
“බලමු”
“ඔයා දිහා බලාගෙන තමයි ඒ ළමයත් මුරණ්ඩු වුණේ”
“එතකොට ඔයා දිහා බලා ගෙන ඒ ළමයට මොකද වුණේ…”
මීට මොහොතකට පෙරත් සුරැකී තිබි සංවර ශීලය බිඳ ගැනීම ගැන ඇසිල්ලකින් අපරාජිතා පසුතැවිලි වූවා ය. නමුත් දේශිකා ගේ මූණට නම් අඩ සිනහවක් නැගුණේ ය. අපරාජිතා මොහොතකින් බිම බලා ගෙන සන්සුන් වූවා ය.
“හරි. දැන් එයා මොකද්ද කරන්න යන්නෙ…ආයෙ එයා යන්න ඕන නෑ. කරන ඩිග්රි එකක් මෙහෙ ප්‍රයිවට් කැම්පස් එකක් කළහම ඉවරයි”
“ඔයාටමයි මුලින් එයාව යවන්න ඕන වුණේ. ඒ ළමය තව දුරටත් අපිට ඕන විදිහට රූකඩ නටන එකක් නෑ අරවින්ද. මොනා කරන්නත් එයා ටිකක් විවේක ගත්තාවෙ”
“ඔයා හැමදාම හිතුවෙ ළමය ඔයාගෙ විතරයි කියල”
“ඔයාගෙ කියල පෙන්නන්නනෙ ඔයා එයාව යැව්වෙ”
දෙදෙනා ගෙන් ම සුසුම් ගිලිහී ගියේ ය. අපරාජිතා ගේ දුරකතනය නාද විය. ඇය කලබලයෙන් එය සවනට ගත්තා ය.
“මං ආව අම්මි”
“හරි පුතේ”
සියල්ල ඉක්මනට සිදු විය. ඔවුන් දෙදෙනා ගේ ම රථ, පිටවීමේ පර්යන්තය වෙත ධාවනය විය. ඒ වෙලාවේ ගුවන් ගමන් කිහිපයක් යෙදී තිබුණෙන් දෝ රථ වාහන පෝලිම වැඩි වූයේ ය. අපරාජිතා ගේ රියට ඉදිරියෙන් අරවින්ද ගේ රිය නැවතිණ. ඔහු ඉක්මනට රියෙන් බැස ගත්තේ ය. අපරාජිතා හිතා මතා ම පමා වුවත් අනන්‍යා තාත්තා දැක දැක ම අපරාජිතා ගේ රිය වෙත ආවා ය. ඇය ට නො බැස බැරි විය.
ඒ දැඩි වැළඳ ගැනීම තුළ දෙදෙනා ට ම කාලයක් තිස්සේ අත් හැරී ගිය තමන් ගේ කමක් ගැන හැඟීමක් තිබිණ. අපරාජිතා ගෙන් මිදුණ පසු අරවින්ද දියණිය වැළඳ ගත්තේ බලයෙන් සේ ය. අනන්‍යා හිත දැඩි කර ගෙන ඉක්මනට ඔහු ගෙන් මිදුණා ය. නමුත් හදවත යමක් ඉල්ලමින් කෑ ගසනා බවක් ඇය ට නො දැනුණා නොවේ.
ආරක්ෂක නිලධාරීන් ඉක්මනින් රථ වාහන ඉවත් කර ගන්න යයි අණ කළෙන් අනන්‍යා ගේ බැගේජ් දෙක අපරාජිතා ගේ රියට පටවා ඔවුහු රිය වලට නැග ගත්හ.
“ඔයා ටිකක් මහත් වෙලාද මන්දා”
අපරාජිතා එසේ කීවේ එහෙම හිතුණාට ම නොවේ. කිසි වෙනසක් නැතිව අම්මා දුව ළඟ සිටිනා බවත්, ඇය සමාව දිය නොහැකි හෝ අමතක කළ නො හැකි කිසිත් කර නොමැති බවත් හඟවන්නට ය. අනන්‍යා මලානික සිනහවක් පෑවා ය.
“දේශි පුංචි මාත් එක්ක තරහෙන්”
බෑග් ටික රියට පැටවූවාට දේශිකා අනන්‍යා සමග වදනක් හෝ නො දොඩා සිටියා ය. මේ වෙලාවේත් ඈ නිහඬව ම සිටියේ කතා කළොත් හැඬෙනා බව දන්නා නිසා ය.
“මට සමාවෙන්න”
අන්තිමට අනන්‍යා ඉදිරි අසුන වටා දේශිකා මැදි වන සේ දෑත් යවා ඇය වැළඳ ගත්තා ය.
“මං දන්නව අම්මිට වගේ දේවල් දරා ගන්න ඔයාට බෑ කියල”
වේගයෙන් ඇස් පිය සැළුවත් දේශිකාට කඳුළු වැළකිය නො හැකි විය. ඇය දෑතින් ම අනන්‍යා ගේ අත් දෙක අල්ලා ගත්තා ය. අපරාජිතා ට සැනසීමක් දැනිණ. ශක්තිමත් ගැහැනු දෙදෙනෙකු අනන්‍යා දෙපසින් සිටිති.
ඔවුන් ට්‍රෙවීන් කෙනෙකු ගැන කතා කළේ නැත. ඒ වෙනුවට හිරු නොබසින අඛිරාජ්යය ගැන කතා කරන්නට ඕනෑ තරම් දේවල් තිබිණ. අරවින්ද නැවත ද වරක් කතා කොට වෛද්‍ය පාරේ ගෙදරට යන ලෙස මතක් කළේ ය.
“අපි ඇනෙක්ස් එකට ගිහිං ඉමු. අනන්‍යාට හිතෙනවනං එතන පහසු මදි කියල…අපි දෙහිවල යං. ම්..”
අපරාජිතා ගේ යෝජනාවට අනන්‍යා සතුටින් එකඟ වූවා ය. ඉඩ කඩ ඇති විශාල මැදුරක ඇති දැඩි වූ ඇය ඇනෙක්ස් එකක ජීවිතය නො පිළිගතැයි දේශිකා නම් සිතුවා ය.
සීරුණු බිඳුණු හදවත් කැබලි අතරේ ද සිනහ මල් පිපෙන්නට පුළුවන. ඔවුහු හැකි තාක් මේ මොහොත තුළ ජීවත් වීමට උත්සාහ කළහ. සැබවින් ජීවිතය කියන්නේ මේ මොහොතට ය. එළඹෙන මොහොතේ අප හුස්ම නො ගන්නට වුව පුළුවන.
ජය පාරේ පිවිසුම් දොරටුව ළඟින් බැස දේශිකා ගේට්ටුව ඇරියා ය. සසංක එදා වේලාසන ගෙදර විත් මෝටර් රථය සෝදමින් සිටියේ ය. ඔහු ගේ තියුණු ඇස් අපරාජිතා ගේ රිය විනිවිද දකින්නට විය.
“වාව්”
රිය ඇතුළට එත්දී අනන්‍යා ට එහෙම කියවිණ.