“මහත්තයට කරදර නැත්තම් අපි අක්කව ගෙදරින්ම බස්සගෙන එමුද? නැත්තම් ආයෙ අක්ක මහත්තයලගෙ ගෙයි ඉඳල සෑහෙන දුර පයින් යන්න ඕනනෙ. අක්කට පුරුදුත් නෑනෙ”
සඳරු එසේ කීම ගැන කැළුමිණී උන්නෙ මද අමනාපයකිනි. තමා මේ එතරම් කුඩා දුරක් වුව පයින් ඇවිද ගෙන යා නොහැකි අන්දමේ ළඳ බොලඳ කාන්තාවක් නොවන බව සඳරුට කියන්නට තිබුනානම් අපූරු වග හිතුනද එහෙමකට කියා හරියාකාර විස්තරයක් නොදන්නා සූරියබණ්ඩාර මහතා ඉදිරියේ එබවක් පවසන්නට කැළුමිණීගේ සිත දුන්නේ නැත.
අනෙක් අතට දිනක් දෙකක් පමන අහම්බෙන් හමු වූ කාන්තාවක තමන්ගේ රියේ නැගි මෙයාකාරයෙන් තමන්ගේ වැඩ රාජකාරි කරගැනීම ගැන මේ මිනිසා කුමක් සිතාවිද යන්න ගැන කුකුසක් ද සිත තුල නොතිබුනා නොවේ.
එහෙත් අරවින්ද නම් උන්නේ සන්තෝසයෙනි. සඳරුගේ කරවටා අත දමා “මචං ලෙවල්” එකෙන් තැන්ක්‍යු බං කියන්නට සිතෙන අන්දමේ සතුටකිනි.
ටවුමේ හිඳ එන්සල්වත්තට යන්න පැයක් පමන කාලය ගතවන බව අරවින්ද අත්දැකීමෙන් දනී. ඒ යන අතරමග හමුවන බඩ ඉරිඟු කඩපේලි, කඩල කරත්ත දෙස නොබලා, මග නතර නොකර යන චර්‍යාවක් පෙරදී තිබුනද අද වෙනසකටත් එක්ක මග නතර වී කඩචෝරු රසවිඳින්නට අරවින්දට සිතුවිල්ලක් පහල වූයේ ඉබේමැයි කියා කිව නොහැක.
වේගයෙන් ඇදී ආ රිය නැවතුනේ බඩ ඉරිඟු කරත්තයක් ලඟය. ඒ සුවිසල් ගසක අතු පතර විදා හුන් සෙවණක් යටය. මහ දවල් වුවද දෙණියාය උන්නේ ඉර අව්වක් නොදකින තැනක සැඟවී මෙනි.
“සඳරු, මොකෝ කියන්නෙ බඩ ඉරිඟු කරල් දෙක තුනක් ගමුද?” කියා අරවින්ද මුදල් පසුම්බිය අතට ගෙන සඳරුගේ සිනාවෙන් වැසුණු මුහුණ දෙස බැලුවේ ඉදිරියම බලා උන් කැළුමිණී දෙස යන්තමින් නෙත යොමාය.
තමාට ඉතාම සමීපව වාඩි වී හුන් කැළුමිණී උන්නේ උකුල මත තිබෙන තම අත් බෑගය මතින් දෑත් තබාගෙනය. ඒ ඉඩකඩ මද නිසාවෙන් තම අග පසඟ අරවින්දගේ හෝ සඳරුගේ ඇඟේ ගෑවේය යන බියෙන් බව අරවින්දට නොතේරුනා නොවේ. එහෙත් මුව මත පිපෙන්නට ආ සිනහව අපහසුවෙන් ගිලගත් අරවින්ද සඳරු වෙත රුපියල් පන්සියයක කොලයක් දික් කලේත් “අනේ මට නම් එපා” යැයි කැළුමිණී කිව්වේට් එකම වරක වාගේය.
“එහෙනම් දෙකක් ගේන්නකො සඳරු” කියා සඳරුට සමු දුන්නද හිත පුරා රැඳුණු කහට අහක් වූවා නොවේ.
“පුදුම ලොකුකමක්නේ තියෙන්නෙ” සිතෙන් එසේ සිතුවද අරවින්දට එය කියන්නට හයියක් තිබුනේ නැත.
සඳරු බඩ ඉරිඟු තම්බන හැලිය ලඟ හිටගෙන එතන උන් මිනිසා සමග කතා කරද්දී තමාත් මැයත් නිහඬව සිටීම කාලය අපතේ යැවිමක් යැයි සිතුවද අරවින්ද උන්නේ යමක් කියාගන්නට වචන සොයමිනි.
“රවුටර් එක ගත්තද?”
මෙතෙක් වේලා අතොරක් නැතුව කියාගෙන ආ සඳරුගේ වදන් හමුවේත් වැඪිහරියක්ම මුණිවත රැකි මිනිසා තමාගෙන් එසේ ඇසීම ගැන පුදුම නොවී ඉන්නට හැකියාවක් කැළුමිණිට තිබුනේ නැත.
“ඔව්”
“ඔයා කොහෙද වැඩ කරනවා කිව්වේ”
“මම ෆ්‍රීලාන්ස් වැඩ කරන්නෙ. අකවුන්ට්ස් ඇන්ඩ් මාකටින්”
එතනින් එහා යමක් ඇසිඅ යුතුද කියාවත් ඇසිය යුත්තේ කුමක්ද කියාවත් පැහැදීලි අදහසක් අරවින්දට තිබුනේ නැත. නිහඬව ඉන්නට සිත නොකීවද නිහඬව හිඳිනවා හැරෙන්නට කිව යුතුදෙයක් අරවින්ද දැන උන්නේද නැත.
බඩ ඉරිඟු කරල් දෙකක් අතින් ගත් සඳරු වාහනය වෙත එද්දීත් අරවින්දත් කැළුමිණීත් උන්නේ තම තමන්ගේම සිහින ලෝකවල තනි වී මංමුලාවේ ඇවිදිමීනි.
“අක්කා එපා කිව්ව හන්දා දෙකයි ගත්තෙ මං”
සඳරු එසේ කියමින් අරවින්ද වෙත එක් බඩ ඉරිඟු කරලක් දිගු කරමින් සිනාසුනද මද සිනාවක් පමණක් පිළිතුරු ලෙස දෙමින් කැළුමිණී උන්නේ ඉදිරියම බලාගෙනය.
“එපා කිව්වට කමක් නෑ. බෙදා හදාගන්නෙ නැතුව කන සිරිත් ඉතින් අපෙ නෑනෙ. මොකෝ කියන්නෙ මේ බාගෙ කමුද?” කියමින් තම සවිමත් අතින් බඩ ඉරිඟු කරල දෙකට කැඩූ අරවින්ද එක් අඩක් කැළුමිණී වෙත යොමු කලේ මද සිනාවක් මුවඟේද, ආරාධනයක් නෙතඟේද රඳවාගනිමිනි.
ඒ බැල්මත්, මනුසත්කම පිරුණු ආරාධනයත් මගහරින්නට බැරි බවක දැනුන නිසාවෙන්දෝ අත ඒ වෙත දිගුවුනේ නිරායාසයෙනි.
අරවින්ද එකාතකින් බඩ ඉරිඟු කරල හපමින්ද, අනෙක් අතින් රිය සුක්කානම හසුරුවමින්ද යද්දී දෑතින්ම බඩ ඉරිඟු කරල හපමින් උන් කැළුමිණීගේ සිත තුල කඳුලු වැස්සක් ඇද හැලෙමින් තිබුනි.
ඒ මධුසමයට කණ්ඩලම හෝටලයට යද්දී අතරමග නතර වී ප්‍රභාත් සමග බඩ ඉරිඟු කෑ අතීතයක රස මතක් වීමෙනි.
එදා මී පැණි මෙන් රස වූ ඒ අතීතය මෙදා මෙතරම්ම නීරස වූයේ කෙසේද යන්න කැළුමිණීට සිතාගන්නට බැරිය.
එදා රැය පහන් වුනේ සන්තෝසයෙන් කියා අරවින්දට සිතුනද නොනිදා තවත් රැයක් පහන් කල කැළුමිණීගේ සිතැඟි අහලකවත් අරවින්දගේ සේයාවක්වත් රැඳී තිබුනේ නැත.
කැළුමිණී උන්නේ ප්‍රභාත්ව අමතක කර නොහැකි අන්දමේ වේදනාවක ගිලීය. නැන්දා කොපමණ කීවද ප්‍රභාත්ව අමතක කර දමා ජීවිතය දෙස අලුතෙන් බලන්නට හැකියාවක්, ඉඩකඩක් තමාට තිබේද යන්න ගැන කැළුමිණීට සැකයක් නොතිබුනා නොවේ.
“ප්‍රභාත්ට ආයෙ හැරෙන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැත්තම්, පුතා කොච්චර ඔය ගැන හිතල දුක් උනත් තේරුමක් නැහැ නේද?”
නැන්දා කතාව ඇරඹුවේ සූරියබණ්ඩාර වලව්වට යවන්නට රෑ කෑම සූදානම් කරමිනි. හරිස්චන්ද්‍ර නූඩ්ල්ස් කැරට් සහ බොංචි දමා සකසා,මදි පාඩුවට පොල් සම්බල් සහ චිකන් හොද්ද සැකසුවේ කැළුමිණීය. කලුවට සැකසූ ගම් කුකුල් මස් හොද්දේ සුවඳ නිවසත් ඉන් පිටතටත් ගලා යද්දී වුව කැළුමිණී උන්නේ අතීතය පිලිබඳ පිළුණු වූ සුවඳකින් හදවත රිදුම් දෙද්දිය.
“මට හිතාගන්න බෑ නැන්දෙ මට ප්‍රභාත්ව අමතක කරල ආයෙ අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුලුවන්ද කියල. මම ප්‍රභාත්ව බඳිද්දි හිතුවෙ කවුරු නැතත් මට මේ ලෝකෙ ප්‍රභාත් ඉඳිවි කියල. ඒ උනාට ඒ හිතිච්ච දේවල් කොච්චර නම් වෙනස් වෙලාද? මට තාම විශ්වාස කරන්න බැරි තරම් මේ වෙච්ච දේවල් ඇත්තටම වෙලාද කියල” එකාතකින් පොල් සම්බෝලයට දෙහි මිරිකමින් අනෙක් අතින් ඇස් වැක්කෙරෙන කඳුලු පිසිමින් කැළුමිණී කිව්වේ ඇඬුම්බර හඬකිනි.
පබෝධා ඒ වේදනාව නෑඳුණුවා නොවේ. මෙයට වසර ගණනාවකට පෙර තමන්ද මෙයාකාරම වේදනාවක ගිලී උන්නා පබෝධාට මතකය. වෙනසකට තිබුණේ කැළුමිණීට ඒ වේදනාව විඳින්නට වූයේ විවාහයෙන් පසුව වීමත් තමාට පෙම්වතියක වී හිඳිද්දි වීමත් පමනකි.
ඒ නිසාම පබෝධාට කැළුමිණීව පෙනෙන්නේ අතීතයේ සිට පැමිණි තමන්ගේම ජායාවකිනි.
“සමහර දේවල් තියෙනව පුතේ අතෑරල දාන තරමට තමයි සන්තෝස. අපි මොනතරම් ආදරේ කරා උනත් අපිට අපි ලඟ තියාගන්න පුලුවන් පොඩි දේවල් කීපයක් විතරනෙ. පුතා කොච්චර ඔයක හිරකරගෙන පරිස්සම් කරගන්න හැදුවත් අන්තිමේ පුතාගෙ අතයි හිතයි විතරයි රිදෙන්නෙ. හරියට අර අවුරුදු උත්සවේ කඹ ඇදිල්ල වගේ. අතෑරියොත් බිම වැටිල හරි හිනාවෙන්න ඇහැකි. ඒත් හයියට අල්ලන් ඉන්න තාක් වෙන්නෙ අත කැපිල රිදෙන එක විතරයිනේ”
වංගෙඩිය උඩ වාඩි වී නැන්දා කියූ කතාවට හ්ම් කියා අලගු තබනවා හැරෙන්නට කියන්නට දෙයක් කැළුමිණීට තිබුනේ නැත. දේවල් අතෑරිය පසු ජීවිතය පහසු බව කැළුමිණී නොදන්නවා නොවේ. එහෙත් ප්‍රභාත් යනු ජීවිතය නොවේද? ප්‍රභාත්ව අත හැරීම ජීවිතය අත හැරීමක් නොවේද?
කල්පනාව බිඳ වැටුනේ නිවසින් ඉදිරිපසින් ඇසෙන මෝටර් සයිකලයක නලා හඬිනි. පබෝධා කැළුමිණී දෙස බැලුවේ “ඒ කවුද?” කියන කුහුල නෙතු අස්සේ රඳවාගෙන නමුත් කැළුමිණී උන්නේ පබෝධා වෙත නෙතු යොමාගෙන නොවේ.
ඉඳගෙන උන් වංගෙඩිය උඩින් නැගිට්ට පබෝධා පය ඉක්මන් කර නිවසේ ඉදිරිපස දොර වෙත ඇදුනේ ඇවිත් හිඳින්නේ කවුද යන කුකුස හිත මත තබාගෙනය. නැන්දා කුස්සියෙන් නික්ම යද්දී, ඒ හා සමගම ඇසුන නලා හඬ කැළුමිණීව යලිත් මතක මංපෙතක හිඳ දෙණියායේ නැන්දාගේ නිවසටත්, එතන හිඳ නිවසේ ඉදිරිපස වෙතටත් රැගෙන යන්නට උදව්වක් විය.
දෙහි ඇඹුල් මිරිකූ සම්බෝලයෙන් ඇඟිලි අස්සේ තැවරී තිබුන සම්බෝල බිඳක රස බලමින් කැළුමිණී ඉදිරි දොර වෙත ගියේත් පැමිණ හුන් තැනැත්තා සමහ සිනාවෙමින් හුන් නැන්දා කැළුමිණී දෙස බැලුවේත් එකටම මෙනි.
“මේන් බලන්නකො කවුද ඇවිත් ඉන්නෙ කියල”
නැන්දාගේ වදන් ඔස්සේ දොර රෙද්දෙන් එපිට බැලූ කැළුමිණීගේ දෙනෙත් කුඩා වුනේ කුතුහලයෙනි. එහෙත් ඒ දෑස තිබුනේ සිනාබව හැඟීමකින් දිදුලමිනි.
ඒ මේ මොහොතෙ දකින්නට බලාපොරොත්තු වූ අයෙකු නොවේ.