මන්දාරම් හැන්දෑවක 43

උඳුවප් සීතල වඩා තදින් දැනෙන්නේ නත්තල ළං ළං ව එද්දී ය.නත්තලට දින තුනක් ඉතිරිව තිබෙන උදෑසනක මේඝා අවදි වූයේ සොම්නසිනි.ඉතා ශෝකය පිරී ගිය දිනයක් ගෙවනවා වෙනුවට අද දවස ප්‍රීතිමත් ව ගෙවිය හැකි බව ඈ දැන සිටියා ය.අද දිනය පොඩි අක්කාට ද අමතකව තිබීම ඇයට දුකක් වූයේ නැත.සාමාන්‍ය දවස් පවා විශේෂිත වෙමින් ගෙවී යන මෙවැනි කාලයක අද දවස වෙනදාට වඩා ආදරයෙන් ගෙවා දැමිය යුතු බව ඈ සිතුවා ය.බොහෝ කාලයකට පසු ඊයේ දිනයේ නැවත ක්‍රියාත්මක කළ ජංගම දුරකථන මුහුණත එකම එක පණිවිඩයක සංඥාවක් ගෙන ආවේ ය. ඒ තාරුකා බව මේඝා දැන සිටියා ය. අසීරු කාලයක දී දුරට වී හිඳ ආදරය බෙදා ගත් අත නෑර අල්වා ගත් ඈ බිනර සමඟ ඊර්ෂ්‍යාවෙන් පසුවන අන්දම සිහි කරමින් මේඝා දුරකථනයට හිනැහෙමින් මොහොතක් ගෙවා දැම්මේ අලුත් හුස්මකින් හිත පුරවා මුළුතැන්ගෙයට යන්නට පෙර ය.

“අම්මී….”

ඊයේ දවසේ ලැබුණේ අද ලැබිය යුතු තිළිණය යැයි මේඝාට සිතුණේ ඒ කුඩා කටහඬ ඇසෙද්දී ය.ඇය කාමරයේ දොර වෙත නෙත් දැල්වූයේ ඒ හැඟීමෙනි. කුඩා ඉනුලි නෙළුම් මලක් දෝතින් ගෙන සියපතකටත් වඩා සුන්දර සිනාවක් ඇඳ පැළඳ හුන්නා ය.

“හැපී බර්ත්ඩේ අම්මී..”

මේඝා ජීවිතයේ ලද හොඳම උපන් දින තිළිණය ලබා ගත්තේ දෙකම්මුලෙහි තෙත තවරා ගනිමිනි.දෑසින් ගලා ආ කඳුල ද කුඩා ඉනුලිගේ හාදු පොකුර ද කම්මුල් සීතල කරද්දී ඒ දෙකම්මුල් රත්පැහැව ගියේ කාමරයට එබුණු දිනිඳු නිසා ය.

“සුබ උපන්දිනයක් නංගී..ඔයාට හැම සතුටම ලැබෙන කාලයක් එන්න ඕන..” මේඝා වැළඳගෙන සුබ පතන්නට ආ හැඟීම යටපත් කරගෙන ඔහු වඩා හොඳ හිනාවක් සොයා ගත්තේ ය.තමන්ගේ ම කියා ජීවිතයක් ඇරඹී ඇති බව මේඝාට වැටහිණ.ඈ සිටියේ ඒ හැඟීම හදවත පුරා විඳ ගනිමිනි.

“මං ගාණෙ පොඩි තෑග්ගක්..” දිනිඳු මේඝාට දුන් තිළිණය විවෘත කර බලන්නට ඕනෑ වූයේ ඉනුලිට ය.එහි වූ රන්දම දෙස මේඝා බලා සිටියේ සතුටිනි.වටිනා තෑග්ගක් දෙන්නට තරම් ඔහුගේ ජීවිතය තුළ තමන්ට ඉඩ වෙන්වීම ගැන සතුටක් මිසක ඇයට එහි වටිනාකම අමුතු සතුටක් නොවී ය. එහෙත් මාස කිහිපයකට පෙර දිවි නසා ගන්නට හොඳම ක්‍රමය සිතමින් සිටි කෙල්ලකට ආදරය පිරුණු පවුලක් ලැබීම ගැන ඇය අමන්දානන්දයට පත් වෙමින් හුන්නා ය.

“මට නංගිත් එක්ක බෙදා ගන්න තවත් කතාවක් තියනව..ඒ කතාව බෙදා ගන්න එක හෙටට කල් දාන්න උනේ අද නංගිගෙ බර්ත්ඩේ එක කියල ඊයේ මධූ කිව්වට පස්සෙ..ඉතින් නංගි, ඒ කතාව ඇහුවට පස්සෙ ඕනනම් අපි ඔය චේන් එකට මැච් වෙන රින්ග් එකකුත් තෝරා ගමු..අපෙන් නාහාම හැමෝම අපි ගැන තීරණයක් අරන් ඉවරයි තමයි.ඒත් ඒ තීරණේට මං ඔයාට කියන්න යන කතාව හරස් වෙනවද නැද්ද කියල මං දන් නෑ.ඔයා ගන්න තීරණේ මොකක් උනත් කමක් නෑ. ඔයා ආපහු හැරුණත් මගේ දරුවට ඔයා දීපු ආදරේ මං අමතක කරන්නෙත් නෑ..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -28

මේඝා ඉනුලි තරයේ වැළඳ ගත්තා ය.ඇයට ඒ කතාව මේ මොහොතේ අසන්නට උවමනා නොවිණි.කුඩා ඉනුලිත් ඇගේ නෙළුම් මලත් දෙස ආදරයෙන් බලා හුන් මේඝා දිනිඳුට පිළිතුරු ලබා දුන්නා ය.

“ඉනූ ඊයෙ මට දුන්නු බර්ත්ඩේ ගිෆ්ට් එකයි, අද ඉස්සරලම මට විෂ් කරපු එකයි තමයි මං මගේ ජීවිතේ ලබපු ලොකුම තෑග්ග.ඉස්සරහට මගෙ ජීවිතේ මට මොනතරම් දේවල් දෙයිද මං දන් නෑ අයියේ..ඒත් මොන දේවල් ලැබුණත් මේ තමයි හොඳම තෑග්ග..ඒකෙ වෙනසක් නෑ..”

දිනිඳු ඇය දෙස බලා සිටියේ ආදරයෙනි.තවත් බොහෝ දේ කියන්නට ඔහුට ඕනෑ විය.ජනිඳු ගැන සත්‍යය හෙළි කරනතෙක් වඩා නරක දේ පවා සිදු වීමට ඉඩ ඇතැයි විශ්වාස කරන්නට සිදු වීම නිසා හදවතට කියන්නට ඇති සෑම දෙයක්ම පවසන්නට ඔහුට හැකි වූයේ නැත.

“අනේ මමයි තරිඳු අයියයි උදේ හයේ ඉඳන් බර්ත්ඩේ කේක් කන්න බලන් ඉන්නව. එළියට එනවකො ඕයි..” බිනරගේ අහඹු කඩාපාත් වීම නොවන්නට හදවත් දෙකක් බොහෝ හැඟීම්බර වෙන්නට තිබිණ.වැටෙන්නට ආ කඳුළු වහා පිසගත් මේඝා හිනැහෙන්නට පටන් ගත්තා ය. බොහෝ කාලයකට පසු ආදරය පමණක් ඉතිර ගිය කුඩා උපන්දින සාදයක මිහිර මේඝා විඳ ගනිමින් සිටියා ය.වෙද මාමා,නැන්දා, පොඩි අක්කා,වරුණ අයියා,බිනර, නිකිණි සහ සඳලි ද යසා ද තමන්ට ඇති තරමට ආදරය දෙන්නට සූදානම් බවත් ජීවිතයේ තැනක නතරව මාවතක් සොයමින් හුන් දිනිඳුත් ඉනුලිත් ඒ ජීවිතය සර්වසම්පූර්ණ කරන්නට තමන්ගේ ආදරය සොයන බවත් ඇය සිතුවේ සොම්නස ඉතිර යද්දී ය. ඈත රටකට වී හිඳිමින් හෝ ඒ ආදරයේ පරිමාව තරිඳු ද විඳ ගන්නා බවට සැකයක් නැත.ඉතින් අම්මාගේ නික්මීම සමඟ අහිමිව ගිය පවුලක මිහිරියාව ඇයට දරා ගන්නට නොහැකි තරම් විය.

“කෝ මගෙ තෑග්ග?”මේඝා බිනරගෙන් ඇසුවේ කුඩා උපන්දින සාදය අවසන් වන්නට ඔන්න මෙන්න තිබිය දී ය.උදෑසන තේ මේසය අවසන් ව දිනිඳුත් තරිඳුත් වරුණ අයියාත් කතාබහක නිසා බිනර කුඩාවුන් සමඟ නැටිල්ලක ය.ඔහු දෑස් ඔසවා මේඝා දෙස බැලුවේ දීප්තිමත් මුහුණකිනි;දෑසකිනි.

“තියනව..යං එළියට..”

මේඝා නිවසින් පිටතට පැමිණ හාත්පස බැලුවා ය.කිසිවක් ම පෙනෙන්නට නැත.

“මං අර හින්දි ෆිල්ම්වල කොල්ලො වගේ දණ ගහල අහන්න හදන්නෙ.මාව බඳිනවද සුදූ කියල..ඒක තමයි තෑග්ග.කොල්ලා නෙවේනෙ ඔය ෆිල්ම්වල කෙල්ලව බඳින්නෙ.හොඳම යාලුවනෙ.ඔන්නොහෙ කියල මාත් උඹව බඳින්න හිතුව.අපි නුග ගහ ගාව ඉඩමෙ ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාලා හුරතලේට ගැරඬියෙක් එහෙම හදා ගෙන ඉමු. “

මේඝා හිනැහුණේ බිනරට තදින් පහරක් ගසන අතරේ ය.මේ දඟකාර යෞවනයා පෙම්වතා නොවී හොඳම මිතුරා වීම ම ත්‍යාගයක් බව ඇය සිතුවා ය.

“මං ගාව ඇත්තටම තෑග්ගක් තියනව.ඊයේ මේක පෙන්න ගන්න බැරුව මට නින්ද ගියෙත් නෑ.එළිවෙනකන් මටයි සඳූටයි පුදුම හදිස්සියක් තිබ්බෙ..”

බිනර ජංගම දුරකථනය අතට ගෙන පැවසුවේ ය.මිෂෙල්ගේ ඉරණම මේඝා දුටුවේ වීඩියෝ හරහා නොවේ.පැතිර යන සමාජ ජාලා කැලෑ පත්තර හරහා ය.ඇය ඒවා දෙස මොහොතක් බලා හිඳ බිනරට දුරකථනය ලබා දුන්නා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 2

“මට මිෂෙල්ගෙන් පුදුම වදයක් තිබ්බනං තමා.ඒත් ඒක මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් වෙන් නෑ බිනර.පොඩ්ඩක්වත් සතුටු නෑ මට.ඔය තැන මං හිටියනෙ.එයාගෙ වේදනාව මට තේරෙනව.මායි ජනිඳුයි අතරට ආවේ මිෂෙල් තමයි.මට මඩ ගහන්න මහන්සි වුණෙත් එයා.ඒවා ඇත්ත.ඒත් බිනර දැන් එයත් ඉන්නෙ වැටිලනෙ..”

“අපිට එයාගෙ ඉරණම අදාළ නෑ මේඝා.ඔයාගෙ ගිෆ්ට් එක ඒක නෙවෙයි.ඔයා හැංගුණු කාලෙ ඉවරයි.ඔයා ඒ වීඩියෝ වල නෑ ඒවගෙ ඉන්නේ මිෂෙල්මයි කියල හැමෝම කියන්න පටන් ගත්තා.හරියට බැලුවම ඔයාලා රූපෙන් සමාන නිසා ඒ කතාව පැතිරෙන්න පටන් ගත්තා. මිෂෙල්ගෙ යාලුවො ඔව් ඒක ඇත්ත කියල කියන්න ගත්තා. තාරුගෙ බෝයි එහෙම පුලුවන් තරම් ඒ කතාවට තටු දෙන්න පටන් ගත්තා.ඔයාට උනේ අසාධාරණයක් කියල මිනිස්සු කැළඹෙනකොට ඊයෙ රෑ තවත් මාර වැඩක් උනානෙ..අපිට ඔයාට කියන්න ඕන අන්න ඒක..”

මේඝා සියල්ල අසා හුන්නේ පුදුමයෙනි.නින්දා වැස්සකට මැදිව පෙර පාසලෙන් පිටතට ආ මොහොත ද තාරුකා පෙන්වූ වීඩියෝ පටය දුටු මොහොතේ කොහේ හෝ සැඟව මිය යන්නට ආ හැඟීම ද ඇයට යළි යළිත් සිහිව ආවේ ය.හැකිතාක් සැඟවී පෙරිමියන්කුලමට විත් ලෝකයට බයෙන් ජීවිතය ඇරඹූ කාලය තවමත් සිහිනයකට සමාන ය.දිනිඳු සහ බිනර පවා තමන් ගැන සත්‍යය දැනගැනීම ජිවිතයෙන් පලා යන්නට තරම් තදින් දැනුණු අන්දම ඇය සිහි කළේ බියකරු සිහිනයක් නැවත සිහි ගන්වන තරම් අසීරුවකිනි.

“ඊයේ රෑ ජනිඳු ෆේස්බුක් ලයිව් ආව.මිෂෙල්ගෙ වීඩියෝ ලීක් උනු හැටි ඌත් දන් නෑ.හැබැයි මිෂෙල් ඒ වීඩියෝ වල ඉන්නව කියල පතුරවපු නර්සරි ටීච මේවට සම්බන්ධත් නෑ ඒ වැදගත් ළමයෙක් කියල ඌ සෑහෙන හෑල්ලක් කි‍යෙව්වෙ.කොහොමහරි ඔයා ආයේ ෆේස්බුක් ගිහිං බලන්න වටිනවා ඒ නාඩගං නම්..”

ජනිඳු හේතුවක් නැතිව කිසිවක් නොකරන්නෙකු බව මේඝා දැන සිටියා ය.ඔහුට මෙසේ කරන්නට හේතු වූ කාරණයත් එහි යටි අරමුණත් දැන ගන්නා තුරු මේ නිදොස් වීමේ කිසිදු සතුටක් නැති බව ඇය සිතුවා ය.අනෙක් අතට මිෂෙල්ට සියල්ල පැටවිය නොහැක.මුල්ම වීඩියෝවේ සැබෑවටම හිඳින්නේ තමන් ය. මේඝා පටලැවී යද්දී වෙද ගෙදර කඩුල්ල අසල හුරුපුරුදු මෝටර් රථයක් නැවතෙන අන්දම ඈ දුටුවා ය.එය හඳුනා ගත් භීතියෙන් නැඟී සිටිද්දී ඉන් බට පුද්ගලයා ඇගේ දෙපා අවසඟ කර දැමී ය.මේඝා තමන්ට හුරුපුරුදු බංකුව මතට වැටුණේ අවසිහියෙනි.බිනර ඇගේ අතකින් තදින් අල්වා ගනිද්දී මේඝා කඳුළු පිරී ගිය දෙනෙතින් ඔහු දෙස බලා සිටියා ය.

“අනේ මේ මොකක්ද වෙන්නෙ බිනර..” මේඝා හඬන්නට පටන් ගත්තා ය.

“මේ අපේ ගෙදර, අපේ ගම මොට්ටයො.වෙව්ලන් නැතුව හිටපං..මං අර මෝඩියො දෙන්නටත් වඩා උඹට ආදරෙයි.බය වෙන්න එපා.”

බිනර මේඝා තදින් අල්ලා ගත්තේ ය.නමුත් ඒ මොහොතේ ආපසු යන්නට නිවසින් පිටතට ආ දෙසොහොයුරෝ ද අමුත්තා දැක කැළඹී ගිය හ.දිනිඳු නවතා තරිඳු වේගයෙන් ඉදිරියට ගියේ කෝපය ඉතා තදින් ඔහු වටා එතෙද්දී ය.මේඝා සියල්ල බලා හුන්නේ සසැලෙමිනි.

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
20 days ago

👍