fbpx

පතොක් මලක ප්‍රේමය -02

“දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්.”

මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය ඉතා දුර බලමින් අනාගතය පුරෝකථනය කරන්නට හපනියකි. කොටින්ම එකම එක දේශනයක් මඟ හැර ගත් විට විභාගය අසමත් වීමේ සිට අනාගතයේ අපේ දරුවන් අප රැවටීම දක්වාම පව පල දෙන අන්දම මටත් චමත්කාටත් විස්තර කරන්නට ඈ නොපසුබට නැත.

“ඌට මගෙන් පලි ගන්න කෙස් ගහක සාක්කියක් නෑ.මෝඩ මූසලයා..”

මම පැවසුවේ බිස්කට් භාජනය සොයන අතර ය.එහි ඇති බිස්කට් වර්ගයට වඩා ප්‍රිය කරන්නේ චමත්කා ය.මම ඇයට බිස්කට් එකක් දිගු කරන්නට සිතා ඈ දෙස බැලීමි.ඇය සිටියේ දෑස්වල කඳුළු පුරවාගෙන ය; භීතියකින් අඳුරු කරගත් මුවකින් ය.

“ඒ ඔයාටනෙ සාරා..” ඇයට වචන පිට වූයේ නැත.ඉකි ලන්නට පෙර ඈ නැවතිය හැක්කේ මට ය.

“ඔයා හිතන්නේ මාස ගාණක් මං පොල් ගෑවා කියලද?” මම ඈ තදින් අල්ලා ගතිමි. චමත්කා කුහුල රැඳි නෙතින් බලා සිටියා ය.

“ඔයා බයේ ඉන්නෙ සමහර ෆොටෝස් ගැන චැට් ගැන නම් මං කියන්නෙ මෙච්චරයි..ඔයාගෙ ෆෝන් නම්බර් එකක්වත් චරිතයගෙ ෆෝන් එකේ නෑ.ලැප් එකෙත් නෑ.ඔක්කොම මං මකලා තියෙන්නේ.ලැප් එක නම් දවසක් මං මෙහෙ අරගෙනම ආවේ..කේතාට මතක ඇතිනෙ..ෆෝන් එකේ තිවුන ඔයාට සම්බන්ධ හැම මතකයක්ම මං අඬ අඬ මැකුවා…”

කේතකීට සිනාවක් පුපුරා ගියා ය.චමත්කා ඇයට එක්වන්නට බැරි බැල්මකින් මදෙස බලා සිටියා ය.මම කියවන්නට පටන් ගතිමි.

“ඔයා චමත්කගෙ දේවල් ළඟ තියන් ඉන්න එක මට මේ රේල් පාරට පනින්න හිතෙන වැඩක් සුදු මහත්තයෝ කිය කියා මල විකාර කියවන්න මාස තුන හතරක් ගිය එකයි අප්ප මට තරහ..ඕක සතියෙන් කරගත්තනම් මං ඕකාව සතියෙන් පන්නලා දානවා..”

එවර නම් චමත්කාට සිනා නොවී ඉන්නට නොහැකි විය.ඇය දෑසින් කදුළු පනින තුරුම හිනැහුණා ය.අන්තර්ජාලයේ තැන තැන නතර වන්නට තිබූ ඇගේ සේයාරූ එසේ මකා දැමීමට හැකි වීම ගැන මට දැනුණේ සතුටකි.නාස්ති කළ කාලය ගැන අහිතක් නැත්තේ ඒ නිසා ය.

අනෙක් අතට නාස්ති වූයේ මේ මාස හය පමණක් ද?

“දැං ඉතිං අර නැන්දලගෙ ගෙදරට වෙලා හොටු පෙර පෙර ඉන්න ඕන නෑ..හෙටම ඇවිල්ලා මෙහෙ පදිංචි වෙයං.මේ යස්සනී එක්ක ඉඳලා මටත් දැන් හරිම මහන්සි..මේකිට වෙලාවකට ඉර පෑව්වත් කේන්ති යනවනෙ.මටනම් තේරෙන් නෑ බං..ත්‍රීවිල් වල මිනිස්සුයි කෑම කඩවල මිනිස්සුයි එක්ක මේකි මරාගන්න ටිකම ඇති සංසාරේ එපා වෙන්න..”

කේතකී එසේ කියන්නේ දුරකථනයට මුහුණ අලවාගෙන ආහාර ඇණවුමක් දමන අතර ය.අද උයන්නට නොහැකි බවට ඈ යෝජනා කරද්දී චරිතට පාඩමක් ඉගැන්වූ ප්‍රීතිය සමරන්නට උවමනා වූයේ චමත්කා ට ය.

“ඇත්තටම ඇයි සාරා උඹට කිසිම ඇන්ගර් මැනේජ්මන්ට් එකක් නැත්තේ..”

කේතකී තුවාය සහ පිජාමා ඇඳුමක් අතට ගනිමින් එසේ ඇසුවා ය.මම කිසිත් නොපැවසීමි.එසමඟම චමත්කා මවෙත ළංවී මගේ කරට අතක් දමා ගත්තා ය.

“මං ඇත්තටම හිතුවෙ මොකක්ම හරි රීසන් එකකට මගෙන් පලි ගන්න ඔයා චරිත එක්ක යාලු උනා කියල.මං වෙනුවෙන් මෙච්චර රිස්ක් එකක් ගත්තෙ ඇයි සාරා..”

මම ඇඳුම් රාක්කයෙන් අතට හසු වූ ඇඳුමක් ද තුවාය ද අතට ගත්තේ කේතකී පසෙකට තල්ලු කරමිනි.

“මං හුඟාක් අඬපු කාලෙ මං ළඟ හිටපු යාළුවො කාටවත්ම මාව නලවන්න ඕන උනේ නෑ චමා..එයාලා බැලුවේ පසන් වගේ සිරිමත් කෙනෙක්ට මං ගැලපෙන්නෙ නැති වෙන්න හේතු.ඒකයි..”

එපමණකි.මම වහා නාන කාමරයට රිංගා ගතිමි.කඳුළු ඇත්තේ වතුර මල යට දිය කරන්නට ය.ඒවා කිසිවෙකුත් දැකිය යුතු නැත.ප්‍රාණ සම යෙහෙළියන් යැයි කොටසක් මේ ලෝකයේ නොවසන බව සිතා හුන් මට එවැන්නියන් සිටින බව සිහි කරන චමත්කා හෝ කේතකීවත් මේ කඳුළු දකින්නට නුවුමනා බව මම විශ්වාස කරමින් සිටියෙමි.

කුඩා සාදයක් පැවැත්වීමට තරම් රස ආහාර කේතකී ඇණවුම් කර තිබිණ.ඒ චරිතගෙන් සම්පූර්ණයෙන් ගැලවුණු ප්‍රීතිය නිමිත්තෙන් ය.චමත්කා යළි අප වෙත පැමිණීම නිමිත්තෙන් ය.සාරදීගේ වීර ක්‍රියාව නිමිත්තෙන් ය.

“අහන්නකො..ඔයා තාම ඉන්නේ පසන් ගැන හිත හිත නේද?”

කේතකී නින්දට වැටුණු පසු චමත්කා මගෙන් ඇසුවේ ඉතා සෙමිනි, බොහෝ ආදරයෙනි.මම කිසිත් නොකියා මිනිත්තු කිහිපයක් ගෙවූවෙමි.අඳුර කඳුළු සඟවන්නට සමත් ය.

“අමතක වෙන්න එපැයි අලුතින් හිතන්න..”

චමත්කා මගේ අතකින් මුදුව අල්ලා ගත්තා ය.ඒ මිත්‍රත්වය උණුසුම් ය.මාස කිහිපයක් රඟපෑමක් වෙනුවෙන් හෝ ඒ මිත්‍රත්වයට වංචා කිරීම ගැන මට දුකක් නූපදිනවාම නොවේ.

“ඔයා රළු පරළු වෙලා අපිට පෙන්නන නපුරු කෙල්ලට යටින් අහිංසක හුරතල් කෙල්ලක් ඉන්නව සාරා..ඒ කෙල්ල කෝ..පසන් ඒ කෙල්ලව මරා ගත්තා කියලා ඔයා හිතුවට එහෙම වෙලා නෑ.මටම ඇහිලා තියනවා ඒ අහිංසක කෙල්ල රෑ අපිට හොරෙන් අඬනවා.සමහර වෙලාවට ඔයාට හොරෙන් අර දඟ හුරතල් කෙල්ල එළියට එනවා.ඒත් උඹ ඊට වේගෙන් ආයෙ නපුරු වෙනවා..”

මම ඒ පැහැදිලි සත්‍යය සඟවන්නට කැමැත්තෙමි.පසන් නික්ම ගියේ තද සුළඟකට පවා සසල වන වර්ගයේ දැරියක නපුරු යස්සනියක කර දමා ය.පිරිමින්ගේ වැරදි වලට එළව එළවා පහර දෙන්නියක බවට මා පත් කර දමා ඔහු ඈ සමඟ ප්‍රේමයෙන් හිඳින බව මා නොදන්නවා ද නොවේ.

“ඒ මේ…”

චමත්කා කලබල වූයේ එක්වරම ය.කොල්ලන් තිදෙනෙකු ජීවත් වන නිවසේ උඩුමහල අපේ නවාතැන කරගන්නට අපට බියක් වූයේ නැත.මාලක අයියා සහ මල්ලිලා දෙදෙනා හොඳ ආරක්ෂකයන් තරමටම හොඳ සහෝදරයන් ය. උස්මහත් වූ කොල්ලන් තිදෙනෙකු සිටින නිවසේ සොරසතුරු බියක් ද කොහොමටත් නැත. චමත්කාගේ කැළඹීමට මා ද කැළඹුණේ ඒ නිසා ය.චරිත යළි පැමිණ ඇත්දැයි මට ගැස්මක් ඇති විණි.

“අර කොල්ලා..ඒ අපිට කෑම අරන් ආව කොල්ලනෙ..ඌ මොකද මෙහෙ කරන්නෙ..”

මා ඒ දෑස් දුටුවේ ඒ මොහොතේ ය.වෙහෙසින් මිදී ගිය දෑසක් ඇති කළු කෙට්ටු කොලුවෙකු දෙස එතරම් උනන්දුවෙන් බලන්නට අපට සිතුණේ ඇයිදැයි යන්නට මට තවම පිළිතුරු නැත.නමුත් එක්වරම ඉහළ මාලය දෙස බැලූ ඔහු ද නැවතී ගත්තා මට මතක ය.

“අඩේ..ඒ මාලකයියගෙ යාලුවෙක්.” නිවසින් පිටතට ආ මාලක අයියා ඔහු පිළි ගන්නා අන්දම ඒ “කෑම ගෙන ආ කොලුවෙකු” නොවන බවට සාක්කියකි.

“පාට් ටයිම් ජොබ් කරන ළමයෙක් වෙන්න ඇති,අයියගෙ කැම්පස් එකේ ස්ටඩීස් කරනව ඇති.අපේ උනුත් දාහක් පාට් ටයිම් කරලා සල්ලි හොයන එකේ ගවර්මන්ට් කැම්පස් වල අපේ උන්ට වඩා දුක් විඳින ළමයි ඉන්නව බං..ඈත ගමක ළමයෙක්ද කොහෙද..හරි සංවර කොල්ලෙක්..”

චමත්කා බොහෝ දෑ කියවද්දී ඈ ඒ නොදන්නා අහිංසකයාට විවරණ දීම ගැන මට උපන්නේ නොරිස්සුමකි.ඒ නොරිස්සුමට වහා හේතුවක් සපයන්නට මටම ඕනෑ විණි

“ඔය ළමයා මේ බැල්කනියෙ මෙතනම ඉඳන් මටයි කේතටයි අර ගොබිල චරිතයා ගැන උදාන වාක්‍යය කිව්ව මට අමතක නෑ නංගි..මං යනවා නිදා ගන්න..”

මම ඇඳට වැටී නෙත් තද කර පියා ගතිමි.සෑම රාත්‍රියකම මට නින්ද අහිමි කරමින් දෑස් මත දැවටෙන පසන්ගේ අහංකාර ඇස් බැල්ම අද මට පීඩා කරන්නට ආවේ නැත.වෙහෙසින් පීඩිත වූ නම නොදන්නා අහිංසකයාගේ විඩාබර බැල්ම දෑස් කෙවෙනි කරන්නට පටන් ගත්තේ ය.

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
2
0
Would love your thoughts, please comment.x
()
x