chat with smart lady – නිරංජනී ෂන්මුගරාජා

නිරංජනී ෂන්මුගරාජා කියන්නේ අපේ රටේ සිටින ඉතා දක්ෂ සම්මානනීය කලාකාරියක්. පසුගියදා ඇය බයෙල්සා අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඒ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණ කල “සුනාමි “චිත්‍රපටියේ ඇය රඟපෑ කල්‍යාණිගේ චරිතය වෙනුවෙන්. මේ ඇය ඇගේ ජීවිතය ගැන smart lady  වෙනුවෙන් කළ සුන්දර කතාබහයි. 

.නිරංජනී…අන්තර් ජාතික සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි සම්මානය පසුගියදා දිනා ගත්තා. මුලින්ම smart lady Web එක වෙනුවෙන් අපෙන් සුභ පැතුම්…

ගොඩක් ස්තුතියි. මාව smart lady Web එකත් එක්ක සම්බන්ධ කර ගැනීම ගැනත් මම ගොඩාක් සතුටුයි.

මේ කී වෙනි සම්මානයද..?

මේක අන්තර් ජාතික සිනමා  සම්මාන උළෙලෙකදී ගත් දෙවැනි සම්මානයයි. ඒ සම්මාන දෙකම ලැබුණේ “සුනාමි ” චිත්‍රපටයටයි .ඒ වෙනුවෙන් සෝමරත්න දිසානායක මහතාට සහ රේණුකා බාලසූරිය මහත්මියටත් ස්තූති කරන්නම ඕනේ.  නලු නිලියන් විදිහට අපිට ජීවිතේ ඉතිරි වෙන්නේ සල්ලි නෙමෙයි. ජනතාවගේ හිතේ අපිට ලැබෙන ඉඩයි, ඉතිහාසයෙන් අපිට ලැබෙන නමයි විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ. ඒ නිසා මේ ලැබුණු සම්මාන මට ගොඩාක් වටිනවා.

ජාත්‍යන්තර සම්මාන දෙකට අමතරව තවත් සම්මාන ලැබිල තියෙනවා නේද..?

ඔව්. මට හිතෙන විදිහට මේ වෙද්දි රංඟනය වෙනුවෙන් මට සම්මාන දහඅටක් දහනවයක් වගේ ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් කලා ජීවිතයේ මම ලබපු මුල්ම සම්මානය මගේ අතින් ලබා ගන්න මට බැරි වුණා. ඒ සම්මානය ලබා දීපු දවසෙම තමයි මම මගේ මුල්ම චිත්‍රපටය වෙනුවෙන් යාපනයට යමින් සිටියේ.
ඒ අශෝක හඳගම මහතාගේ “ඉනියවන්  ” චිත්‍රපටය වෙනුවෙන්. මම ඒකට උතුරු පළාතේ රූගත කිරීම් වලට යද්දී දකුණු පළාතෙන් “හොදම වේදිකා නිලිය” ට හිමි සම්මානය මට ලැබුණා. ඒ මම රඟපෑ තරංගා ප්‍රියදර්ශනී අක්කා අධ්‍යක්ෂණය කල “formet “කියන වේදිකා නාට්‍ය වෙනුවෙනුයි. ඒක මගේ පලමු වේදිකා නාට්‍යයයි. අද කොච්චර සම්මානය ලැබුණත් මම ඒ සම්මානයට හරි ආදරෙයි. ඒක ප්‍රමාණයෙන් ගොඩාක් චූටියි. හැබැයි මම ඒකට හරි ආදරෙයි.

නිලියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද..?

නැහැ. මට එහෙම ලොකු හීන තිබුණේ නැහැ. චූටි කාලයේදී ආමි එකට හරි පොලිසියට සම්බන්ධ වෙන හීනයක් මට තිබුණා. මගේ ආච්චි අම්මා බෞද්ධ කෙනෙක්. එයාට මම හරි ආදරෙයි. මම නුවර කෙල්ලක්. දළදා මාලිගාවට බෝම්බ ගහපු දවසේ අපේ ආච්චි අම්මා ගොඩක් ඇඩුවා. ඒ කාලේ මම හරි චූටියි. ඒත් ආච්චි අම්මා ඇස් වල කදුළු පුරෝගෙන අඩන එක මට දරාගන්න බැරි වුණා. මම ආච්චි අම්මාව සනසන්න “අඩන්න එපා ආච්චි අම්මා…මම ලොකුවෙලා ආමි එකට ගිහින් බෝම්බ දාපු ඔක්කොම මරන්නම් “කිව්වා.ඒ නිසා ටික කාලයක් ආමි එකට යන්න ආස කලා. ඊට පස්සේ අලුතින් කම්පියුටර් ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තනේ. ඒ නිසා කිසිම දෙයක් නොදැනත් “කම්පියුටර් ඉන්ජිනියර්” කෙනෙක් වෙන්න ආස කලා. ටික කාලයක් ඒ ආසාව තිබිලා ගායිකාවක් වෙන්න ආස කලා. ඒ හැම දෙයක්ම කාලෙන් කාලෙට වෙනස් වුණා.

ගම නුවර.ඒ ගෙවුණු ළමා කාලය අද නිරංජනී මතක් කලොත්..?

අපි නුවර බලගොල්ල කියන ප්‍රදේශයේ හැදුණේ. නුවර වගේ පිංවන්ත භූමියක ඉපදෙන්න, හැදෙන්න වැඩෙන්න ලබන්න තරම් මම පිංකරලා තිබුණා. නුවර බෞද්ධ පරිසරයක් තියෙන පළාතක්. හැබැයි කිසිමදාක දමිල අපිට නුවරදී වෙනස්කමක් දැනුණේ නැහැ. කොහේ ඉදන් නුවරට කවුරු ආවත් නුවර වැව රවුමේදී ඕනෑම කෙනෙක් නුවරට වඳිනවා.

නිරංජනී පවුලේ බඩපිස්සී. ඒ ළමා කාලය ගැන දැන ගන්නත් smart lady කැමතියි..?

මට අක්කා කෙනෙක් ඉන්නවා. මම පවුලේ බාලයා. බඩපිස්සීම තමයි. අදටත් මගේ අම්මා “ලොකූ වුණා කියලා වෙනසක් නෑ තාම දඟයි “කියලයි කියන්නේ. මම හොදට ඉගෙන ගත්තා. පාසලේ කුමක් හෝ තරඟයක් තිබුණත් මාව ඉදිරිපත් නොකලත් මම බලෙන් හරි ගිහින් ඒකට සම්බන්ධ වුණා. වයසට කරන වැඩ නෙමෙයි මම කලේ. මම පාසැල් දෙකක ඉගෙන ගත්තා. මුලින්ම හින්දු ජාතික පාසලේ ත් පසුව නුවර බදියුදීන් මක්මුෆ් බාලිකා පාසලේත් ඉගෙන ගත්තා. තරඟවලින් ජයග්‍රහණයන් ගෙන අම්මාට ආඩම්බර වෙන්න පුලුවන් දරුවෙක් විදිහටත් හිටියා. ඒ වගේම දඟ වැඩත් ඇති තරම් කලා. හැමදාම ඉස්කෝලෙන් චෝදනා තිබුණා. මුලින්ම මිශ්‍ර පාසලක ඉගෙන ගත්තේ. ඒ නිසා වැඩිපුරම රංඩු වුණේ කොල්ලෝ එක්ක. අවුරුදු දහයේදී මම පන්ති නායිකාව. දවසක් මම කියපු දේ ඇහුවේ නැහැ කියලා මම පන්තියෙ පිරිමි ලමයෙක්ට ගහපු පාරට ඒ ලමයට සිහිය නැති වෙලා දවසක්ම ඉස්පිරිතාලේ හිටියා. ඒ නිසා මේ දඩබ්බර කම් ඉවසන්න බැරිව අම්මා මාව බාලිකා පාසලකට දැම්මා. ඒක දැම්මා කියලා වෙනසක් තිබුණේ නැහැ. කෙල්ලොත් එක්කත් ගහ ගත්තා.

ඒ පාසලේදීත් තරඟ වලට ඉදිරිපත් වුණාද..?

ඔව්නේ. ඒක මුස්ලිම් පාසලක්. මම දමිල. හැබැයි ඒ පාසලට ගිහිල්ලත් රජකම් කරන්න හැදුවා. එතකොටත් ප්‍රශ්න. පාසැලේ “ඉස්ලාම් දිනය ” වෙනුවෙන් ගායනා තරඟ තිබුණා. මම හිජාබ් එකක් ඇදගෙන ගිහින් තරඟවලට සහභාගි වෙලා ඒවත් ජයග්‍රහණ කලා. ඉතින් අර ලමයින්ට කේන්ති යන එක සාධාරණයි. මගේ ජීවිතේ හැම ආගමකටම මම සම්බන්ධ වුණා. ඒ නිසා අදටත් මට “මෙයා සිංහල මෙයා මුස්ලිම් “කියලා දැනෙන්නේ නැහැ. මම හැම ආගමකම මිනිස්සු ආශ්‍රය කරන, ඒ මිනිස්සු ගැන දන්න කෙනෙක්. ඒ නිසා ඕනෑම කෙනෙක් එක්ක මට ඉන්න පුලුවන්.

මොන දඟකාරකම් කලත් නිරංජනී හොදට ඉගෙන ගත්තා. නමුත් ජීවිතේ එක්තරා සිදුවීමකින් වුණු පසුතැවීමකින් අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. අද ඒ ගැන මොකද හිතෙන්නේ..?

අද ඒ ගැන හිතද්දී දැනෙන්නේ ලොකු දුකක්. හොදට ඉගෙන ගත්තත් මට උසස් පෙළ කරන්න බැරි වුණා. ජීවිතේ ඉගෙන ගැනීම, අධ්‍යාපන ඉතා වැදගත් බව පුංචි කාලේ ඉදන් මම දැනගෙන හිටියා. ඒ නිසාම මම හොදට දේ ඉගෙන ගත්තා. මම උසස් පෙලට ඉගෙන ගත්තේ වානිජ අංශයෙන්. හැබැයි උසස් පෙල විභාගයට ලංවෙද්දී මට ඒකට හිත හදා ගන්න බැරි වුණා.

ඇයි ඒ…කොතනින්ද ඒ කඩා වැටීම ඇති වුණේ…?

ජීවිතේ ඒ කඩා වැටීම ඇති වුණේ පුංචි කාලේ ඉදන්මයි. අම්මගේ බඩේ මම ඉදිද්දීම තමයි මගේ තාත්තා අපිව දාලා ගිහින් තිබුණේ. ඒ නිසා සැබෑම තාත්තාගේ ආදරය මට ලැබුණේ නැහැ. මම තාත්තා දැකලා තියෙන්නේ ෆොටෝ වලින් විතරයි. පහුකාලෙදී තාත්තාව එකම එක වතාවක් දැක්කත් මට ඒ මුහුණේ ඡායාව මතක නැහැ. මට මතක තාත්තා අරගෙන ආපු ලෙදර් බෑග් එක විතරමයි. මාවයි අක්කවයි බලා ගත්තේ මගේ අම්මාගේ නංගියි එයාගේ මහත්තයයි. ඒ කියන්නේ මගේ පුංචි අම්මයි බාප්පයි. අම්මා පිටරට ගිහින් සල්ලි හොයද්දි අපි දෙන්නාව බලා ගත්තේ ඒ දදෙන්නා. අපි ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. 2008 අවුරුද්දේ තාත්තා මිය ගිහින්. ඒ ආරංචිය එද්දී තාත්තාගේ මරණයේ වැඩ සියල්ලම අවසාන් වෙලත් ඉවරයි. ජීවිතේ කවදාවත් දැකපු නැති ආදරයක් නොලැබුණු තාත්තාගේ මිය ගිය  මුහුණවත් අඩුම තරමේ බලන්නවත් අපිට බැරි වුණා. ඒ ගැන මම ගොඩක් දුක් වුණා.
තාත්තා ජීවත්ව ඉදිද්දීත් දැක්කේ නෑ , මළමිනියවත් දැක්කේ නැහැ කියන දුක මට දැනෙද්දී ඒ පීඩනය දරා ගන්න මට බැරි වුණා. ඔය අතරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහට මාව තේරුණා. නමුත් කෙටි කාලයකින් ඒ පට්ටම මට ලැබෙන්න යන එකට බොහෝ දෙනා මට කෙනෙහිලිකම් කරන්න පටන් ගත්තා. මගේ සමහර යාලුවෝ පවා වෙනස් වුණා. මට ශිෂ්‍ය නායිකාකම පවා පසුව නැති කලා. ඒ හැම දෙයක් නිසාම මම හිටියේ ලොකු පීඩනයක. මේ හැම දෙයක්ම එකම කාලයක සිදුවෙද්දී මට දරාගන්න පුලුවන් සීමාව නැති වුණා. අද තියෙන මානසික ශක්තිය ඒ කාලේ මට තිබුණේ නැහැ. අම්මගේ බඩේ ඉදිද්දීම තාත්තා මාව ප්‍රතික්ෂේප කරද්දී,පාසලේදී මාව ශිෂ්‍ය නායකකමින් ප්‍රතික්ෂේප කරද්දී මට ඒ හැම දෙයක්ම දරාගන්න බැරිව මම පාසැල් යන එක නතර කලා. ඒ නිසා ඒක මගේ ජීවිතේ ලොකු  ප්‍රශ්නයක් වුණා.

පුංචි කාලේ ඉදන් තාත්තා අහිමි වීම ගැන පුංචි කාලයේදී දැණුණේ නැද්ද..?

නැහැ. මට ඒක දැණුණේ නැහැ. ඒක මට දැනෙන්න පුංචියි බාප්පයි ඉඩ තිබ්බේ නැහැ. අදටත් මම බාප්පාට කියන්නේ “ඩැඩී ” කියලයි. පුංචිට කියන්නේ  “අම්මා ” කියලයි. මගේ අම්මාට කියන්නේ  “මමී” කියලයි. ඒ නිසා තාත්තගේ වගකීම කවදාවත් පුංචිවත් බාප්පයි මඟ හැරලා නැහැ. අඩුම ගානේ ලොකු වෙනකම් “ෂන්මුගරාජා” කියන නමවත් මගේ හිතේ තිබුණේ නැහැ. මගේ නම “N.S.නිරංජනී. ඒ කියන්නේ නල්ලතම්බු පිල්ලේ ෂන්මුගරාජා නිරංජනී. හැබැයි පුංචි කාලේ මම N. කියල හිතුවේ “නඩේෂන් “කියන බාප්පාගේ නමයි. S. කියලා හිතුවේ “සුන්දරේෂ්වරී” කියන පුංචිගේ නමයි එකතු වෙලා මගේ නම හැදුණා කියලයි. ඒ තරමටම මට ඒ දෙන්නගේ ආදරේ උපරිමයෙන්ම තිබුණා. ඉතින් පුංචි දරුවෝ කියන්නේ දෙවිවරු වගේ අයටයි.

ඒ දරුවන්ගේ මනස විකෘති කරන්න එපා කියලා මම හැම දෙමව්පියන්ගෙන්ම ඉල්ලා සිටිනවා.

නුවර ඉදන් නිරංජනී කොළඹට එන්නේ රඟපාන්නද..?

නැහැ. උසස් පෙල නොකිරීම මගේ ජීවිතේ ලොකු ප්‍රශ්නාර්ථයක් වුණා. ඒ කාලෙදී අපේ ගෙදරින් මට විවාහ යෝජනා පවා ආවා. ඒත් මම ඒවට කැමති වුණේ නැහැ. මට මොනවා හරි දෙයක් කරන්න ඕන වුණා. මට චුට්ටක් සිංදු කියන්න පුලුවන්. ඒ නිසා ශක්ති සුපර් ස්ටාර් රියැලිටි තරගයට 2009  අවුරුද්දේ මම සහභාගි වුණා. වට පහකින් විතර මාව ඉවත් වුණා. මම පුංචිගේ ගෙදර ඉදිද්දී ජාතික රූපවාහිනියේ දමිල අංශයෙන් නිවේදිකාවන් ඉල්ලා තිබුණා. මම ඒකට ඉදිරිපත් වෙලා සම්මුඛ පරීක්ෂණ කීපයකටම සහභාගි වුණා. අවසානයේදී 2009 අගෝස්තු මස 17 වෙනිදා සිට මගේ මුහුණ මේ රටම දැක ගගත්තා.

නිවේදිකාවක් වුණු නිරංජනී පසුකාලීනව ජනප්‍රිය රංඟන ශිල්පිණියක් වුණා. ඒ ගෙවුණු කාලයේදීත් ප්‍රතික්ෂේප වුණු තැන් නැද්ද..?

අම්මෝ ඇති තරම් තියෙනවා. මගේ පලමු ෆිල්ම් එකෙන් පස්සේ මට නිෂ්පාදන ආයතන කීපයක්ම චිත්‍රපට කීපයකට ආරාධනා කලා. හැබැයි ඒ ගියපු හැම තැනකදීම මගේ රූපය නිසා මාව කොන් වුණා. මගේ හමේ පාට නිසා, මුහුණේ පිම්පල් නිසා, දත් කෙලින් නැති නිසා, මම දමිල නිසා, මාව කොන් වුණා. “ඔයාට කලුයි,පාට අඩුයි, කොණ්ඩේ කැරලි වැඩියි” කියලා මගේ මූණටම කිව්වා. දවසක් “හීරෝ දැකපු ගමන් වශී වන පෙනුමක් ඔයාට නැහැ. “කියලා කෙනෙක් කිව්වා. ඒ වගේ වචන අනන්තවත් මම අහලා තියෙනවා. ඒ කාලේ ඔය නිෂ්පාදන ආයතන වලට යන්නවත් මට සල්ලි තිබුණේ නැහැ. බස්වල ගියා. ඒ අතරේ යන්න සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින් ගියපු දවස් පවා තිබුණා. ඔය කාලේදී ප්‍රියන්ත කලුආරච්චි අයියා අධ්‍යක්ෂණය කරපු “රතු සමනලු සිහිනයක් “චිත්‍රපටයට මම රඟපෑවා. අද වෙද්දි මම චිත්‍රපට අටක් අවසාන් කරලා තියෙනවා. අදටත් මම සුදු වෙන්න බෙහෙත් බීලා නැහැ. අදටත් මම සුදු වෙන්න ඉන්ජක්ෂන් ගහගෙන නෑ. මම මටම ආදරේ කරනවා. ඒ නිසා අදටත් මම රගපාන්නේ උපතින්ම මට ලැබුණු මගේ රූපය එක්කමයි. අපිව දෙවියන් නිර්මාණය කරලා මේ ලෝකයට එවන්නේ හේතුවක් උඩයි. ඒ විශේෂ හේතුව හොයාගෙන තමන්ගේ ජීවිතය ජයග්‍රහණ කරා ගෙන යාමේ වගකීම තියෙන්නේ තමන්ටමයි.

-දිශානි ජයමාලි කරුණාරත්න –

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content