(අ)හිමි සිහින- 30

අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්‍රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න උත්සාහ ගත්තා.එයා මහ ගෙදර ගියාම තනියම ඉවුම් පිහුම් පවා කරන බව මම දන්නවා.වළක්වන්න උත්සාහ කරත් එයා ඒව අත් ඇරියෙත් නෑ.

යන්තම් පුංචි හෙම්බිරිස්සාවක් හැදුණත් කෙඳිරි ගාමින් නිදා ගන්න පොඩි කෙල්ලන්ට තමයි මේ කියන්නේ.අපි හිතනවට වඩා මහා ශක්තියක් අපි ඇතුළේ තියනවා.ගෑනුකම කියන්නෙම ශක්තියට කියලා මට තේරුම් යන්නේ මගේ ජීවිතෙන්.

“අපි සමහරවෙලාවට ලෝකෙ ඉන්න බොහෝම ජනප්‍රිය චරිත වල කතන්දර ආදර්ශ කතා විදියට අලුත් පරම්පරාවට උගන්වනවා.ඒ උනාට තමන්ගෙ වටපිටාවේ ඉන්න වැඩිහිටි කාන්තාවන්ගෙන් ම අපට ඉගෙන ගන්න මොන තරම් දේවල් තියනවද?”

තාම තරුණ වයසේ ඉන්න ස්මාර්ට්ලේඩි කෙල්ලෝ ටික මට එහෙම කියනවා.ඒ කතාව අත් දෙකම උස්සලා අනුමත කරන ගමන් මම ඔයාලට පුංචි උපදේශයක් දෙන්නම්.

ජීවිතය තුළ අපි හදාගත යුතු සමහර තැන්,ඉවසීම පුරුදු විය යුතු ආකාරය, ජීවිතය දරාගත යුතු අන්දම මේ දේවල් ඔබට ඉගෙන ගන්න ඉන්න හොඳම අය තමයි ඔබේ වැඩිහිටි ඥාතිවරියන්.ඔවුන් එක්ක එක පැයක් කතා කරනකොට ඔබේ ජීවිතයට එකතු වෙන අත්දැකීම් මහ සාගරයක් වගේ.ඇත්තටම ජංගම දුරකථනයෙන් ඇස් ටිකක් අහකට ගන්න.එයාලත් එක්කත් කතා කරන්න.

“හැම නැන්දම්මාම ඉතින් නුවර නැන්දම්මා වගේ නෑ.”

daughter sitting near senior mother in bed and holding hands in hospital

කවදාවත් නිමා නොවන අරගලයකට මැදි වුණු ගැහැනුන් මට එහෙම ලියා එවනවා.ඒක එහෙම බව සුදාරකගේ අම්මා නිසා මමත් දන්නවා.ඒත් ඔබට ආදරය කරන ඔබ ගැන වද වෙන නැන්දම්මෙක් ලැබුණොත් ඇයට ආදරේ කරන්න.

මගේ ජීවිතය තුළ මුණ ගැහුණු ආදරණීයම ගැහැනියක ගැන කියද්දී එහෙම නොකියාම බෑ.මට එහෙම හිතෙනවා.

හැම වේදනාවක්ම අවසන් විය යුතු දවස් එනවා.ඒ ලෝක ස්වභාවය බව මම දැන් හොඳින් වටහාගෙන ඉන්නේ.දවසක් ගෙදරින් පිටත හිටපු මට ඒ කතාව සනාථ වෙන ඇමතුමක් ලැබෙනවා.

“අසංකගේ අම්මාගේ කකුලේ ඇටකටුවක් බිඳිලා.”

ඇයට තිබුණේ අස්ථි පිලිකාවක්.මම වහාම ගෙදර ගියා.ඒ යන්නත් යම් වෙලාවක් ගත වුණා.මම එදා දුටු දර්ශනය කිසිම කෙනෙකුට දකින්නට නොලැබිය යුතු දසුනක්.ඔබ බොහොම සංවේදී නම් අද කතාව මෙතනින් එහාට කියවන්නත් එපා!!

අපේ ආදරණීය අම්මාගේ කකුලේ අස්ථියක් බිඳිලා කලවයෙන් මතු වෙලා තිබුණා.ඒ දර්ශනය ඔයාලට මවා ගන්න පුලුවන්ද? මස ඉරාගෙන එලියට ආපු කැඩුණු අස්ථියක්? ඒ වේදනාව මොනතරම් විශාල ඇතිද? හූ කිය කියා කෑගහන්න හිතෙන සිහි විසඥව යන තරමේ වේදනාවක්.අමු අමුවේ මස ඉරී යාම ඒ තරම් වේදනාවක්.

ඒත් අසංකගේ අම්මා ඒ වේදනාව දරාගෙන හිටියා.කෑගැසීමක් තබා කෙඳිරියක්වත් නැතිව ඇය ඒ අසීරු වේදනාව දරාගෙන හිටිය හැටි මට සිහිපත් වෙනකොටත් දැනෙන්නේ මහා දුකක්.මගේ මැදිහත්වීමෙන් ඇය ගිලන් රථයකින් රෝහලට යැව්වා.ඒ ට්‍රොලියට ඔසවා දමනකොට අම්මාගේ තොල් යන්තමින් චලනය වුණා.මම වඩාත් සමීප වී ඇය කී දේ අහන්නට උත්සාහ කරා.

“අම්මේ..” ඇය හඬ පිට නොකර කීවේ එයයි.අතිශය අසීරු මොහොතක කියන්න ඊට වඩා හොඳ වචනයක් කොහෙන්ද? ජීවතුන් අතර සිටියත් නැතත් අම්මා මිසක අපේ දුක්බරම මොහොතක අප දරා ගන්නට සමතියක ඉන්නවද? අපේ ආදර අම්මාටත් ඒ වෙද්දී තාරකා අතරට ගොස් සිටි ඇගේ අම්මා සිහි වෙන්නට ඇති.

ඒ ධෛර්යමත් ගැහැනියට ශක්තියක් වෙන්නට සිතමින් මමත් රෝහලට ගියේ ගිලන් රථය පිටුපසින්.ඕනෑම තත්ත්වයක් දරා ගන්නට මම සිත ශක්තිමත් කර ගත්තා.රෝහල්ගත වූ අම්මා ගැන දුක්බර පුවතක් අප දැන ගන්නේ ඉන්පසුවයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles