නිම් නැති නිම්නය 07

පාසල් නිවාඩුව ඇරඹිණ. එය ආරාධනා ගේ හදවත ට මහත් සැනසිල්ලක් වූයේ ය. දවල් ට සුපුරුදු පාසල් සේවා රියෙහි බිඟුනි ගෙදර පැමිණී ද උදේ ට ඇය කැටිව යාමට කවීශ්වර ට කරදර කළ යුතු වීම ඇගේ හදට බරක් ව තිබිණ. කවීශ්වර වචනයකිනිදු එහෙම නොකැමැත්තක් නො හැඟවී ද එය ඔහු ගෙන් බලාපොරොත්තු විය යුතු නැති සේවයක් බව නිතර ම ආරාධනා ගේ හිත කීවේ ය. මේ නිවාඩුව තුළ ඇගේ ත් දරු දෙදෙනා ගේත් අනාගතය ගැන දළ සැලැස්මක් ඇඳ ගැනීමට ඇය බලාපොරොත්තු වන්නී ය. නිවාඩුව මාසයකට ආසන්න කාලයකි. 

ඇය ට ගුරුවරියක වශයෙන් මහ ලොකු වැටුපක් නො ලැබෙන්නේ ය. අනාගත සැලසුම් ඉදි කිරීමේ දී වැදගත් ම ස්ථානයක් ගනුයේ වැටුපයි. ඒ වැටුපෙන් ජීවත් වෙන ගමන් දරු දෙදෙනෙකු නඩත්තු කළ නො හැකි බව බැලූ බැල්මට පෙනේ. බිඟුනි අධ්‍යාපනය ලබනුයේ පෞද්ගලික පාසලක ය. ඇයට ඔවුන් බලාපොරොත්තු වූ තත්වයේ රජයේ පාසලක් නො ලැබුණ නිසා පෞද්ගලික පාසලකට දැරිය ඇතුළත් කරන්නට සිදු විය. මේ ආකාරයෙන් වෙන් ව ගියත් කාශ්‍යප දරුවන්ට ආදරය කළ බව ආරාධනා දනී. ඒ නිසා ඔවුන් ගේ නඩත්තු වෙනුවෙන් ඔහු යමක් කරනු ඇත. විශේෂයෙන් ම බිඟුනි ගේ පාසලට අදාල ගෙවීම් ගැන ඔහු බලා ගන්නවා ඇත. ආරාධනාගේ වැටුපෙන් කළ යුතු ව ඇති කටයුතු ගැන ඇය දිගට දුරට හිතුවා ය. රජයේ ගුරු වැටුපකින් පවුලක් නඩත්තු කිරීම පහසු නැති බව පෙනෙන්නට තිබිණ. සැනසුම් පායෙන් නික්මී දෙමාපියන් වෙත ගියත්, එයින් ඔවුන් ගේ නිදහසට බාධා විය හැකි ය. උඩු මහලේ චින්තක හා තාරා ද දරු දෙදෙනා ද සිටිති. අම්මා හා තාත්තා සිටින්නේ පහළ තට්ටුවේ ය. තමන් ගේ පවුලත් එහි ගොස් වැටීම නිසා සාමාජිකයන් සංඛ්‍යාව වැඩි වී එතැන අර්බුධයක් ඇති විය හැකි යයි ආරාධනා දිවැසින් මෙන් සිතුවා ය. කෝකටත් හොඳ කුළියට නිවසක් ගෙන හෝ වෙන්ව සිටිනා එක ය. එතකොට ටික කලකට සඳයුරු ගෙවල් දෙකෙන් එකක නවතා පාසල් යා යුතු වේ. 

පාසල් යාම ගැන සිතත්දී, වසරක් ම නිවාඩු ගන්නට සිතා උන් සිතිවිල්ල හදිසියේ ම ඇයට සිහි විය. එසේ සිටිත හොත් වැටුප් රහිත වන නිසා අතට මුදලක් එන්නේ ම නැත. ගෙවල් දෙකෙන් එකකට වත් එහෙම බරක් විය නො හැකි ය. ඒ නිසා ම අර්ධ වැටුප් සහිත මාස තුන පමණක් සඳයුරු සමග ගෙදර නතර වී ඉන් පසු යළි වැඩට යා යුතු යයි ඇය සිතා ගත්තා ය.

මේ දේවල් ගැන සිතද්දී කොයි තරම් හිත තද කර ගත්ත ද කඳුළු එන එක නතර කර ගත නො හැකි ය. අඬන්නෑ කියා මොන තරම් හිතුවත්, පපුව රිදී උගුර දවා ගෙන හැඬුම් එන එක නතර කළ නො හැකි වෙයි. ඇතැම් විට ආරාධනා නාන කාමරයට වී හඬා මුහුණ සෝදා ගෙන එයි. එතකොට බිඟුනි හොඳින් ඇදෙස බලා හිඳින්නී ය. ටවල් එකෙන් තෙත මාත්තු කර ගත්ත ද ඇස් වල වන ඉදිමුම යටපත් කළ නො හැකි ය.

“අම්මි ඇඬුවද…”

බිඟුනි ආරාධනා ළඟ දැවටී හිඳ අසයි.

“නෑ පුතේ…මොකටද අඬන්නෙ අම්මි…මේ හොඳට ඉන්නෙ හිනා වෙලා…”

ඇය සිනහවක් දෙතොල් මත්තේ තවරා ගනී. නමුත් ඇය කියන්නේ ඇත්ත නොවන බව බිඟුනි දනී. ඇය දැන් කුඩා ම දරුවෙකු නොවේ. යමක් කමක් නොතේරෙනවා ම නොවේ. පහු ගිය දින කිහිපය තුළ තාත්තා ගෙදර නො පැමිණීමත්, ඒ ගැන ගෙදර අය වරින් වර කී කතාත් ඇයට ඇසී තිබේ. ඒ අනුව, කියවා ඇති සුරංගනා කතා වල මෙන් තාත්තා කුඩම්මෙකු ගෙනැවිත් ඇති බව සිතා ගන්නට බැරි කමක් ඇයට නැත. ඒ කුඩම්මා ගේ යටතට පත් නොවී අම්මා ළඟ ඉන්නට ලැබීම වාසනාවක් යයි සිතන්නට තරම් දැන් ඇගේ සිතිවිලි වැඩෙමින් තිබේ.

“අපිට තාත්ති නෑ කියල අම්මි අඬන්න ඕනෙ නෑ. එයාට අපි එපානං මොකද කරන්නෙ…අම්මි හිනා වෙලා ඉන්නයි ඕනෙ අඬන්නැතුව”

එතකොට ආරාධනා බිඟුනි තුරුලු කර ගෙන ඇස් දෙක පියා හිඳී. කඳුළු කොහොම වුණත් පපුව දැවෙනා එක දැන් ම නම් නවතා ලිය නො හැකි වනු ඇති බව  ඇය දනී. නමුත් කාලයත් සමග හැම දේ ම තුනී වී යනු ඇත. අඬමින් විලාප තබමින් අහිමි වූ දේවල් ගැන සිතන්නට නොව දැන් ඇයට ඕනේ දරුවන් දෙදෙනෙකු ට අනාගතය හදා දීම ගැන සිතන්නට ය.

“බිඟුනි ගෙ ස්කූල් ෆීස් දාන්න ඕනෙ කාශ්‍යප”

කියා ඇය කාශ්‍යප වෙත වට්සැප් පණිවිඩයක් තැබුවේ තව ඊට කාලය තිබුණා වුණත් මතක් කරන්නට ය. ඊටත් වඩා, ඔහු එක්ක එහෙම හෝ සන්නිවේදනයක් පැවැත්වීමේ හදිසි ආශාවක් ඇය තුළ ඇති විය. හරි ලකුණු දෙක නිල් පාටින් සලකුණු වූයේ ඇය බලා සිටියදී ම ය. තවත් විනාඩි කිහිපයක් ම නො පියවූ දෑසින් දුරකතන තිරය දෙස බලා සිටිය ද, ‘මට මතකයි’ කියා හෝ, ‘හරි මං දාන්නං’ කියා හෝ, ‘තව දවස් තියනවනෙ’ කියා හෝ පණිවිඩයක් පැමිණියේ නැත. ඉස්සර නම් එහෙම නැත. ඇය පණිවිඩයක් තබත්දී ම ඔහු පිළිතුරු එව්වේ ය. ඇය ඇමතුමක් ගත්දී ම ප්‍රතිචාර දැක්වූයේ ය. 

ඒ පණිවිඩය කාශ්‍යප පමණකුදු නොව සෞභාග්‍යා ද කියැවූවා ය. ඇගේ මුහුණ සැනෙකින් වෙනස් වී යන හැටි කාශ්‍යප බලා ගෙන ය. 

“දැන් ස්කූල් ෆීස් දාන්නත් වෙනවද ඔයාට…”

අඩ හෝරාවක පමණ බුම්මා ගෙන හිඳීමකින් පසු සෞභාග්‍යා ඇසුවා ය. කාශ්‍යප පිළිතුරක් දෙන්නට ඉක්මන් වූයේ නැත.

“ඒක මාර වැඩක්නෙ. ඔයා එයාලගෙන් වෙන් වුණානං ආයෙ එහෙ ගැන බලන්න විදිහක් නෑනෙ. ඩිවෝස් වෙන්න. කොහොමත් දැන් ඒක කරන්න ඕනනෙ. එතකොට උසාවියෙන් ළමයින්ගෙ නඩත්තු විදිහට පොඩි ගාණක් ගෙවන්න වෙනව. ඒක ගෙව්වහම හරිනෙ. ස්කූල් ෆීස් ගෙවන්න බැරිනං ළමයිව ආණ්ඩුවෙ ඉස්කෝලෙකට දාන්න කියන්න”

කාශ්‍යප යහනේ හිඳ නිකට පිරිමදිමින් කල්පනා කළේ ය. දැන් ඔහු එතැන අතැර ඇවිත් හමාර ය. මෙතැනත් ගැටළු ඇති කර ගන්නේ නැතිව සාමකාමීව ජීවත් වෙන්නට හැකියාවක් තබා ගත යුතු ය. 

රෑ කෑමට පෙර ආරාධනා නැවත ද දුරකතනය අතට ගෙන බැලුවා ය. කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. කිසියම් නොරිස්සුමක් හිතේ පැතිර යත්දී ඔහු කාශ්‍යප ට ඇමතුමක් ගත්තේ ය. දුරකතනය හැඬවී නිසල විය. ඇය යළිත් ඇමතුවා ය.

“මොන කරදරයක් ද..කට් කරල දාන්න”

සෞභාග්‍යා කීවා ය. කාශ්‍යප එසේ කළේ ය. ආරාධනා ට දැනුණේ පපුවට පිහියෙන් ඇන්නා මෙනි. ඊළඟ මොහොතේ වට්සැප් බිත්තිය මත ‘ටයිපින්’ යනුවෙන් සනිටුහන් වන්නට විය. ආරාධනා ගැහෙන අතැඟිලි වලින් දුරකතනය අල්වා ගෙන දැවෙන ඇස් වලින් බලා සිටියා ය.

“මට දැන් ඕව කරන්න විදිහක් නෑ.  ඔයා ලෝයර් කෙනෙක් අල්ලල දික්කසාද නඩු දාන්න. එතකොට වෙන විදිහක් බලමු”

කළු කුහරයක් ඇතුළට ඈ වේගයෙන් ඇදී යන බවක්, ගිලී යන බවක් ආරාධනා ට දැනිණ. උණු උණුවට ඇස් පුච්චමින් කඳුළු දිය ඇලි දෙකක් ගලා යන්නට ගති. ඇය යහන මතින් හිඳ ගත්තා ය. හිසට බරපතල පොලු පහරක් එල්ල වූවා සේ දැනෙන්නට විය. ඇස් නිලංකාර වී ඇය වටා ලෝකය භ්‍රමණය වන්නා සේ ඇයට දැනිණ. ටික වෙලාවක් ඕ ඒ වේදනා කලාපය තුළ ආත්මීය දුකක් අත්වින්දා ය. එය මරණීය වේදනාවකි. ආරාධනා නමැති ගැහැනිය තනිව ඒ වේදනාව තරණය කොට ගියා ය. ඇය යහන මතින් නැගී සිටියේ කම්මුල් පිස දා ගෙන දෙතොල් මත්තේ මඳහසක් ඇඳ ගෙන ය. රාජිකා මැණිකේ කෑම මේසය සූදානම් කරමින් සිටියා ය. ගජධීර ඒ වන විටත් මේසයට හිඳ ගෙන ය. කාමරයේ සිට කවීශ්වර පිටතට ආවේ ටී ශර්ට් එක පපුවෙන් පහළට අදිමිනි.

“මං කාශ්‍යපට දුවගෙ ස්කූල් ෆීස් මතක් කරල මැසේජ් එකක් දැම්ම”

සිනහ වෙන්නට උත්සාහ කරමින් ආරාධනා කීවා ය. ‘ඉතින්’ යන බැල්මෙන් හැම නෙතක් ම ඇය දෙසට හැරිණ. 

“මෙන්න රිප්ලයි එක”

ඇය දුරකතනය පෑවා ය. එය වහා අතට ගත්තේ කවීශ්වර ය. මුලින් ඔහු එය සිතින් කියවී ය. වරක් නොව කිහිප වරක් ම කියවී ය. රාජිකා මැණිකේ පුතා ගේ උරයට පිටුපසින් ඊට එබුණා ය. 

“ඕක කියවහල්ලකො ඇහෙන්න”

ගජධීර අණ කළේ අනියත හද ගැස්මකිනි.

“මට දැන්… ඕව කරන්න විදිහක් නෑ.  ඔයා ලෝයර් කෙනෙක් අල්ලල… දික්කසාද නඩු දාන්න. එතකොට… වෙන විදිහක් බලමු”

කවීශ්වර ඒ වචන කිහිපය කියවූයේ තැනින් තැන නවතමින්, වචන අතරේ හිස් තැන් තබමින්, ඇතැම් වචන වලට බර දෙමිනි. ඔහු ගේ අතක් මිට මෙළවිණ. දත් ඇඳි දෙක තද වී ගියේ ය. කාශ්‍යප කියන මිනිහා සිය සහෝදරයෙකු වීම ගැන ප්‍රථම වතාවට ඔහු තුළ දැඩි ලැජ්ජාවක් ඇති විය.

“බල්…ලෙක්…එක අතකට මූට බල්ලෙක් කියන එක බල්ලන්ටත් අවමානයක්”

ගජධීර දැඩි වේදනාවකින් දත්මිටි කෑවේ ය.

” මේ මොහොත වෙනකල්ම මං හිතං හිටිය කාශ්‍යප මගෙ ලොකු පුතා කියල..ඒත්..මූ මගෙ බඩෙන් වදාපු එකෙක් වෙන්න බෑ”

රාජිකා මැණිකේ කඳුළක් පිස ගනිමින් කීවා ය. කවීශ්වර බැලුවේ ආරාධනා දෙස ය. ඇය ඉක්මන් ඇස් පිය සලමින් වුව සිනහව තුනී වෙන්නට ඉඩ නොදී සිටියා ය. ගැහැනියකට එහෙම හිනා විය හැකි ද? අසාධාරණ ලෙස සිය වෛවාහක අයිතිය උදුරා ගෙන පමණකුදු නොව දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම ද ප්‍රතික්ශේප කරනා සැමියෙකු ගැන සිතා සිනහ වෙන්නට ගැහැනියකට පුළුවන් ද? ඒ අතින් ඇය ඇදහිය යුතු ගැහැනියකි. එහෙම ශක්තියක් මීට පෙර කිසිදු අවස්ථාවක ගැහැනු ඇස් දෙකක ඔහු දැක නැත.

“ඌ කසාදෙ අත්ඇරල ගිහිං මේ ගෑනිට කියනව දික්කසාද නඩු දාන්න කියල නේ…කටකින්ද මූ කතා කළේ…තුහ් නොදකින් මෙහෙම පව්කාර කා ල ක ණ් ණි යෙ ක්…”

ගජධීර කෑම මේසය අසලින් නැගිට ගත්තේ ය. මොන කෑමක් ද? ඔහු ට දැනුණේ බඩ දඟලනවා වන් හැඟීමකි. පිරිමියෙකුට කිසි සේත් මෙලෙස හැසිරිය නො හැකි බව ඔහු දනී. අන්ත නූගත් මිනිසුන් පවා දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු සිය ලෙයින් උපන් දරුවන් ද ප්‍රතික්ෂේප කළ හැකි නරුමයෙකි.

“මූ මැරිල ළමයො. මූ මැරිල කියල හිතන්න. අර පොඩි උන් දෙන්නටත් කියන්න ඕන උංගෙ තාත්ත මැරුණයි කියල. එහෙම හිතල ඌව අත්ඇරලම දාන එකයි තියෙන්නෙ. ඕන්නං ගේ ඉස්සරහ මරණ දැන්වීමක් එල්ලමු රටේ ලෝකෙ මිනිස්සුන්ටත් දැනගන්න. මෙතන ඉඳල ඌ ගැන කතාවක් ඕනම නෑ. අපි ඉතුරු වැඩ ටික කරගෙන යමු. මං ගෙවන්නං දරුවගෙ ඉස්කෝල ගාස්තු මගෙ පැන්ශන් එකෙන්”

ආයේමත් ආරාධනා ගේ ඇස් තෙත් වන්නට හැදුවේ ය. නමුත් ඕ අසීරුවෙන් මුත් ඊට ඉඩ නොදී හිටියා ය. කෑම කන්නට සූදානම් වෙන වෙලාවේ මේ දේ පෙන්වූ එක වරදකැයි යන හැඟීම ද ඈ තුළ ලියලන්නට වූයෙන් ඕ තමන් වඩාත් හොඳින් යයි පෙන්වන්නට උත්සාහ කළා ය.

“අපි කෑම කමු. එයාට හොඳයි කියල හිතෙන දේ කරපුදෙන්. සොබා දහම කියල දෙයක් තියනවනෙ. මේ විශ්වයෙ සිද්ද වෙන හැම දේම සොබා දහම් උසාවියෙ තීන්දු වෙයිනෙ…”

ඇගේ ඒ ධෛර්යය හමුවේ කෑම මේසයට වාඩි නො ගෙන ඉන්නට අනිත් අයට හැකි වූයේ නැත.

“අනිත් එක තාත්තෙ…එයා මට නඩු දාන්න කියන්නෙ එයාට ඉදිරිපත් කරන්න හේතුවක් නැති නිසා. බලන්නකො…මන් නඩු දාන්න යන්නෑ. ඕන්නං එයා දාගත්තාවෙ. නඩු දාල දික්කසාද වෙලා මට ආයෙ වෙන කෙනෙක් බඳින්න නෙවේනෙ. හපෝ…පිරිමිනං ඕනම නෑ ආයෙ. ළමයි දෙන්නව හදා ගන්න හොඳ සිහියයි ආර්ථිකේ ශක්තිමත් කර ගන්න එකයි විතරයි මට ඕනෙ. කවීශ්වර මට ටියුශන් එකකට ළමයි ටිකක් හොයා ගන්න බලන්න ඕනෙ. ඉන්ඩිවිජුවල් හෝම් විසිට් හරි කමක් නෑ…”

ආරාධනා කියවා ගෙන ගියා ය. මඳහස මොහොතකටවත් ඇය අතැර ගියේ ද නැත. ඒ ඇස් වල ඈත දුර ඈතක මන්දාකිනි එළියක් පායා එමින් තිබෙන බව කවීශ්වර දුටුවේ ය. ඒ අසීමිත ස්ත්‍රී පෞරුෂය හමුවේ කියන්නට වචන කිහිපයක් එක් කර ගන්නට බැරිව ඔහු ගේ උගුර ගොළු ගැසී තිබිණ.

💜️මේ වගේ කතාවක් ලියන එක හදවතට කෙතරම් පීඩාවක් දැයි දැනෙන්නේ ලියන්නට ගත්තාට පසුව ය. ආයේ නම් දුක් කතා නො ලියමි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles