“පබෝධා මිස්ට පුලුවන් නේද එහෙනම් මේ කුස්සියෙ වැඩ කටයුතු ටික ඩිංගක් බලන්න. මම ගිහින් අර පිරිකර හෙම සූදනම් වෙනවද කියල බලල එන්නම්?”
අරවින්ද කුස්සියෙන් ගියේ එසේ කියමිනි. පබෝධාත්, කැළුමිණීත්, සඳරුගේ අම්මා සහ අක්කාත් තවත් නම නොදන්නා කාන්තාවන් කිහිප දෙනෙකුත් කුස්සියේ රැඳුනේ අද දහවල් දානය සඳහා වඩින පූජ්‍ය පක්ෂය සහ දහවල් ආහාරය සඳහා සූරියබණ්ඩාර නිවසේ නතරවෙන පිරිසට අවශ්‍ය කෑම බීම ආදිය සකස් කිරීම සඳහාය.
සංඝ රත්නය සඳහා දානය සූදානම් කිරීමේ වගකීමේ මුල් තැන භාරගත්තේ පබෝධත්, සඳරුගේ අම්මාත් ය. එදා සිටම ලුණු ඇඹුල් පදම යොදා කෑම බීම ආදිය සැකසීමට මුල් තැන රැගෙන උන් නිසාවෙන් ගමේ එවැනි විශේෂ උත්සවයකදී කෑම බීම සැකසීමේ මුල් තැන පබෝධාටත් සඳරුගේ අම්මාත් ලැබීම සාමාන්‍ය දෙයක් විය.
ලුණු ඇඹුල් අතගා කෑම ඒදීමේ රාජකාරිය ඔවුන් භාරගනිද්දී කැළුමිණී සහ අනෙක් අයට තිබුනේ එලවලු ආදිය සෝදා, එලවලු කපා සැකසීමේ රාජකාරිය. බඳුන් සේදීමේ සහ කුස්සිය අස්පස් කිරීමේ රාජකාරිය.
අරවින්ද උන්නේ සතුටෙනි. කැළුමිණීව දැකීම නිසා ඇති වූ සන්තෝසයෙනි. මෙතෙක් දවසක් ගැහැණියකගේ සුවඳ නොවැටුන සූරියබණ්ඩාර වලව්ව කැළුමිණීගේ ආගමනය අරවින්ද දුටුවේ හිරු උදාවක් විලසිනි.
දානයේ වැඩ කටයුතු වෙනුවෙන් මහන්සි වෙද්දී වුව අරවින්ද උන්නේ ඒ සන්තෝසය හිත අස්සේ රඳවාගෙනය. ඒ සතුට මහන්සි වී වැඩ කිරිම පහසු කරවන්නක් බව අරවින්ද තේරුම් ගත්තේ අදය. ආදරයට මෙතරම්ම අපූරු හැඟීම් හිත අස්සට ගෙන එන්නට හැකියව තිබෙන බව අරවින්ද තේරුම් ගත්තේ අදය.
“පුතා තනියම හිනාවෙන්නෙ ඇයි?”
සූරියබණ්ඩාර වලව්වේ ඉස්තෝප්පුවේ හිඳ ඈත පෙනෙන නිල්වන් තේ වතු යාය දෙස බලමින් සිනාසෙමින් හුන් අරවින්ද තිගැස්සුණේ පිටුපසින් ඇසුණ ඒ වචන වලටය. නිවස අභ්‍යන්තරයේ හිඳ අම්මා රෝද පුටුව කරකවමින් එන හඬක්වත් නොඇසෙන්නට තරම් තමා උන්නේ කැළුමිණී මත ගොඩනැගුව සිහින රාජ්‍යයක බව මතක් වෙද්දී අරවින්දට දැනුනේ ලැජ්ජාවකි. එක එල්ලේ අම්මාගේ මුහුණ බලන්නට අපහසු ලැජ්ජාවකි.
“නෑ අම්මා මං මේ තේ වතු දිහා බලාගෙන හිටියෙ”
“මටත් අනේ පුතේ පෙරේදා හවස එද්දිත් මතක් උනේ තාත්තා හිටියනම් කොච්චර සන්තෝස වෙයිද කියල තාත්තායි තාත්තගෙ පරම්පරාවෙ මිනිස්සුයි ගොඩනගපු දේවල් පුතා තව කොච්චර දියුණු කරාද දැක්කා නම්
ඒ උනාට ඉතින්…”
තාත්තා නැති වී බොහෝ කල් ගෙවුනද අම්මා උන්නේ තවමත් දෙනෙත් වල නොවියකුණු කඳුලැලිත් සිත මත ඉතිරිවුණු වේදනාවකත් බර පැන දරාගෙන බව අරවින්ද නොදන්නවා නොවේ.එහෙත් ජීවිතය වනාහී අතහැරීමත්, හිමි වීමත් එක අතකින් එක මිටකට ගත්තක් නොවනේද?
“කොච්චර කල් කියල අම්ම තාත්තා ගැන කියල හිතල දුක් වෙන්නද?” අරවින්ද එය ඇසුවේ කප්පරක් වේදනාවක් හිත අස්සේ තියාගෙනය. එහෙත් ඒ වේදනාව අම්මා ඉදිරියේ නොතබාය.
“මට හිත සනසගෙන ඇස් දෙක පියාගන්න බැරි එකම හේතුව ඔයා පුතා. ඔයා හොඳ කෙනෙක්ව හොයාගෙන මැරේජ් එකකට ගියා නම් මට සැනසිල්ලෙ තාත්තා උන්නු දිහාවට යන්න තිබුනා. පුතා අපෙ එකම දරුවා. අපි කොහොමද පුතා තනියම ඉද්දි මැරිලත් හිත සැනසීමෙන් ඉන්නෙ”
ඒ ප්‍රශ්නාර්තයකින් අවසන් විය යුත්තක් වුවද අම්මා ඒ වචන අවසානයේ සුපුරුදු ප්‍රශ්නාර්තයක් නොතිබ්බේ තමන්ගේ පසින් එයට සුපුරුදු පිළිතුරම ලැබේයැයි සිතූ නිසාවෙන් විය හැක. වෙනදාක නම් අම්මාගේ මේ ප්‍රශ්නය සිත තුල නොරිස්සුමක් ඇති කරවාලන්නක් වුවද අද හිත යට කුලුඳුල් සතුටක මල් කිණිති පුබුදුවාලන බවක් අරවින්දට දැනුනේය.
“මම කැමති ඕනම කෙනෙක්ට අම්මා කැමති වෙනවාද?” කියා අසන්නට තිබුණානම් අපූරු බව සිතුණද සියල්ලටම කලින් මේ ගැන කතා බස් කල යුත්තේ කැළුමිණී සමග බව අරවින්ද දැන හුන්නේය. කැළුමිණීගෙන් මේ බව නොඅසා, අම්මාගේ සිතට බලපොරොත්තු එක්කිරීම මහත් පාපයක් විය හැකි බැවින් මේ දාන මාන ආදී කටයුතුවල සියලු වැඩ රාජකාරි අවසන් වන තුරු ඉවසා හිඳින්නට වන බව අරවින්ද දැන උන්නේය.
“අම්මට සීතල ඇති නේද?” යං මම ගෙට එක්කරගෙන යන්නම්. අම්මා ඕන නම් කාමරේට වෙලා ඉන්න. හාමුදුරුවො වඩින්නත් තව වෙලා තියෙනවනේ”
අරවින්ද රෝද පුටුව මදක් ඉදිරියට කර සූරියබණ්ඩාර මහත්මියව් නිවස තුලට රැගෙන යමින් පැවසුවේය.
එහෙත් වසර ගණනාවක් පුරාවට තමා ඇවිද ගිය බිම මත අද රෝද පුටුවක අසුන්ගෙන යන්නට වුවද, සූරියබණ්ඩාර මැතිණිය උන්නේ සීතල පරදවාලමින් සිත අස්සෙන් නැගී එන විරහ වේදනාවක ගිලීය. කෙතරම් කාලයක් එක්ව ජීවත් වුවද, කෙතරම් කාලයක් පුරාවට කෙතරම් හැල හැප්පීම් වලට මුහුණ දෙන්නට සිදු වුවද සැමියා මිය යාම තරම් වේදනාවක් තවත් බිරිඳකට තිබිය හැකිද?
“බෑ පුතා, ගමේ මිනිස්සු ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කරද්දි අපි මෙහෙම ගේ අස්සට වෙලා ඉඳල හරියන්නෙ නෑනෙ. ඒ මිනිස්සු උනත් අපි ගැන මොනවා හිතාවිද? ඒ නිසා කුස්සිය දිහාට එක්කන් යන්න. වැඩක් පලක් කරන්න බැරි උනාට කමක් නෑ එතන ඉන්න එකම හිතට හොඳයි මගේ.
නැත්තම් එහෙයි මෙහෙයි දෙකේම මම තනිපංගලමෙ කල්පනා සාගරේක ඉන්න එපාය”
ඉන්පසුව අම්මා හෙලූ සුසුම් රැල් මත ඇගේ හදවත පුරා විසිරී තිබෙන වේදනාවකින් කොටසක් පමණක් ගැබ් වී තිබුණ බව අරවින්ද දැන උන්නේය.
ආලින්දයේ සිට කුස්සියට යන්නට පාර සොයාගන්නට අපහසුවක් තිබුණේ නැත.ඒ එතරම්ම ඉමිහිරි සුවඳක් කුස්සියේ සිට නිවස පුරාමත්, නිවස පුරා හුන් සියල්ලන්ගේම නැහැ පුඩු මතත් දඟකරන්නට වූ නිසාවෙනි.
ඒ මේ සුවඳ යැයි කියා වෙන් කර හඳුනාගන්නට අපහසු තරම් සුවඳවල් රැසක් එක් වූ ඉමිහිරි දිව්‍යමය සුවඳකි.
දානයක් යැයි කිව්වද කුස්ස්‍ය තිබුනේ පුදුමාකාර ජීවයකින් පිරීය. ගමේ කාන්තාවන් එක් වූ තැන මැවෙන අපූරු සිනා කත සාගරය අද එක් රොක් වී තිබුණේ සූරියබණ්ඩාර වලව්වේ මුලුතැන්ගෙය තුලය.
“අප්පේ මැණිකේ එන්න එන්න” කියමින් ඒ සිනා කතා මැද්දේම සූරියබණ්ඩාර මැතිණිය හුරුපුරුදු හිතවත්කමින් පිළිගන්නටද ඔවුන් අමතක නොකලහ.
“පබෝධා, කුසුමේ කොහොමද?”
“හොඳින් ඉන්නවා මැණිකේ, කොහොමෙයි ඉතින්?”
සිනාසෙමින් ආ සූරියබණ්ඩාර වලව්වේ මැතිණිය දෙස බලා එසේ ඇසුවේ සඳරුගේ අම්මාය. පබෝධා උන්නේද සිනාසෙමිනි. තනිපංගලමේ කොළඹ බංගලාවට වී සාත්තු සේවිකාවක සමග ගෙවන ජීවිතයෙන් දින කිහිපයකට හෝ මිදෙන්නට වීම ගැන වූ සතුට සූරියබණ්ඩාර මහත්මියගේ මුහුණින්ද සිනහවෙන්ද දෝරෙ ගලමින් තිබුණි. ඉතින් මේ තමන්ට හුරුපුරුදු ජීවිතයයි.
“උයන්න ඕන කරන ජාති ඔක්කොම තියෙනවද?”
“අනේ ඔව් මැණිකෙ. අඩුපාඩුවක් නෑ. වෙලාවට කෑම ටික සූදානම් කරල දෙන්න ඇහැකි අපිට, නේද අක්කේ?” කියමින් සඳරුගේ අම්මාත් සෙසු කාන්තාවනුත් සමග සිනාසුනේ කුසුමේය.
අරවින්ද උන්නේ තවමත් රෝද පුටුව මත දෑත තබාගෙන ගමේ කාන්තාවන් හා සිනාසෙමිනි. රෝද පුටුව අම්මාට හිඳින්නට සුවපහසු තැනක නවත්වා, ආපසු නිවස ඇතුලට යන්න තැනූ ගමන නැවතුනේ සුද්ද කල ලූණු බාල්දියක් අතට ගෙන නිවසේ පිටුපස දොරෙන් කුස්සියට පැමිණි කැළුමිණීගේ ආගමනය නිසාවෙනි. උදේ පාන්දර හිරු එළිය සමග දුටු ඒ සුන්දර රුව නැවත දකින්නට වරමක් ලැබෙද්දී එය මග හැර නිවස තුලට යන්නට බැරි බවක් අරවින්දට දැනුනේය.
රෝද පුටුවක වාඩි වී සිටින කාන්තාව සූරියබණ්ඩාර මැතිනිය හෙවත් අරවින්දගේ මව බව නැන්දාගෙන් දැනගන්නට ලැබුණු කතා ඔස්සේ තේරුම්ගන්නට කැළුමිණීට අපහසු වූයේ නැත. මද සිනාවක් මුව මත රැඳුනේ ඒ නිසාවෙනි. උදෑසන සිට ලූණු සුද්ද කල නිසාවෙන්දෝ ගතට මද අප්‍රාණිකත්වයක් දැනුනද සූරියබණ්ඩාර මහත්මියගේ නිසංසල, මව්වත් ගුණ පිරි දෑසට සිනහවකින් සංග්‍රහ නොකර හිඳින්නට හැකියාවක් කැළුමිණීට තිබුණේ නැත.
අනෙක් අතට සූරියබණ්ඩාර මහත්මියද උන්නේ කුතුහලයකිනි. මැයව මින් පෙර දුටු බවක් මතක නැත. ඇයට තිබෙන්නේ මේ සීතල දෙණීයායට උරුම සුන්දරත්වයක් නොවේ. එයට වෙනස්, මදක් මුහුකුරා ගිය වැදගත් බවකි.
“මේ දූ කාගෙ කවුද?”
කැළුමිණී උන්නේ එයට දිය යුතු පිළිතුර සිතාගන්නට නොහැකිවය. නොඑසේනම් කිසිදාක නොවූ පරිද්දෙන් සබාවක් මැද ලැජ්ජාවට පත්වය. ඇයව ඒ අවුලෙන් බේරගන්නට ඉදිරිපත් වූයේ පබෝධාය.
“මගේ නැතිවෙච්ච අයියගෙ දූ මැණිකෙ”
“ඒක මිසක්ක, මං කලින් දැකල නෑ නෙ”
“කොළඹනෙ මැණිකෙ පුතා ඉඳියෙ, ලඟඳි තමයි මේ ටික දවසකට නතරවෙලා යන්න ගමේ ආවේ”
“ටික දවසකට මොකෝ, හැමදාම ඉන්න බැරිය නේද කුසුමෙ?” කියා සූරියබණ්ඩාර මැතිණිය අනෙක් කාන්තාවන් සහ අරවින්ද සමග එක්ව සිනාසුණද කැළුමිණී උන්නේ සිනාසෙන්නටවත් අපහසුවෙනි. මුලු ගතම අප්‍රාණික වී ඇති බවක් දැනේ.
හිටගෙන සිටීම අපහසු වූ තැන වාඩිවෙන්නට තිබුණා නම් හොඳ යැයි කියා සිතුවත් සූරියබණ්ඩාර මහත්මිය ඉදිරියේ තමා එසේ කිරීම හොඳ ද නරකද කියා හෝ සිතන්නටවත් අප්‍රාණික ගත කැළුමිණීට ඉඩක් දුන්නේ නැත.
සූරියබණ්ඩාර මැතිණිය නිවස තුලට යන්නට රෝද පුටුවට අත තිබ්බේත්, දෑතින්ම මුව වසාගත් කැළුමිණී කුස්සියේ පිටුපස දොරෙන් එළියට පැන්නේත් එකවරම වාගේය.
කැළුමිණී එළියේ හිඳ ඔක්කාර කරන හඬට සමගාමීව පබෝධාගේත් අරවින්දගේත් දෙහිත් මින් පෙර නොවූ විරූ ආකාරයකින් ගැස්සුණ වග ස්තිරය.