ආතුරයන් මැද ආදරෙන් 13

“උඹට තේරෙන්නේ නැද්ද මෝඩියේ..”

කියලා කේසර කෑ ගැහුවේ මාළු ටැංකියේ පීන පීන හිටපු මාළුන්වත් බයෙන් තිගස්සවමින්…

“උන් උබට වෙඩි තියන්න හදන්නේ එළියට බැහැපු ගමන්…  උඹට ඕනේ ඒක කරවගෙන මාවත් පිස්සෙක් කරන්නද…”

කේසරගේ මූණ කාලි දෙවඟනගේ පිරිමි ස්වරූපය අරගෙන තිබුණ.

“ලොකු සර් බය වෙන්න එපා..
මට කියන්න මම ඕන දෙයක් කරලා දෙන්නම්.”

ජාදු  කිව්වේ බොහොම ගැඹුරු කටහඬකින්..
එහෙම කියපු ජාදු එතනම බිම ඉඳගත්තා.

“මෙන්න මේ එළදෙනට කියලා දීපන්…ඒකි ජීවත් වෙච්ච රට වගේ නෙවෙයි මේ රටේ මිනිස්සුන්ගේ හැටි කියලා…මේ රටේ මිනිස්සු බලය වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා කියලා ..වර්ණාසිට එක වෙඩිල්ලක් තියන්න උන්ට දෙපාරක් හිතන්න ඕන නෑ.කර්නල් ධර්මප්‍රිය කියපු විදිහට මේ වෙනකොටත් උන් නොම්බර එකේ වෙඩික්කාරයෙකුට වැඩේ බාර දීලා ඉවරයි.හැබැයි හරියටම ඒ කාටද කියන එක තමයි හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ.”….

කේසර රණබාහු කවදාවත් තමන්ගේ ආදරණීය දුවට ඒ විදිහට කතා කරලා තිබුණේ නෑ.දේශපාලන ලෝකයේදී කොයි තරම් මිනිසුන්ව යටත් කරගන්න එක එක  නැටුම් නටලා තිබුනට වර්ණාසිට මේ විදිහට තදින් කවදාවත් කතා කරලා තිබුණේ නැහැ.මේ විදිහට ගේ දෙක වෙන්න කේසර රණබාහු හයියෙන් කතා කරනවා ජාදු වුනත් දැකලා තිබුනෙ නෑ.

“ජාදු…  හරියට අහගනින් මම කියන දේ..මාතලේ මානිගලට පහළින් දලුක්කුඹුර කියලා ගමක් තියෙනවා.ඒ ගම මැද්දේ අක්කර විසිපහක කැලෑ ඉඩමක් තියෙනවා. ඒ වත්ත මැද මගේ ගෙදරක් තියෙනවා .කවුරුවත් ඒ ගැන දන්නේ නෑ.පැයක් ඇතුළත ලෑස්ති වෙලා බේබි වත් අරගෙන එතනට පලයන් ..ලොකේෂන්  එක වාහනේ මැප් එකේ ඇති.ෆෝන්  ගෙනියන්න එපා. උන් ෆෝන්වලින් උඹල ඉන්න ලෝකේෂන් හොයා  ගනියි. ඒවා ටැප් කරනවා කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි අද කාලේ තාක්ෂණය හැටියට…සති දෙකකට ඕන කරන  හැමදේමදේම මම ඒ ගෙදර ලෑස්ති කරලයි තියෙන්නේ.ඡන්දය විසි හත්වෙනිදා .. විසිඅට වෙනිදා උදේ.. මං උඹලව පරිස්සමට ගෙනියන්න එනවා. කිසිම ගාඩ් කෙනෙක් නැහැ. උඹ විතරයි පුතේ මගේ මැණික ආරක්ෂා කරන්නේ.. ඉන්න එකම ආරක්ෂකයා ජාදු උබ විතරයි . මේක රහසකටත් වඩා රහසක්… ජාදු උඹේ පිස්තෝලය පුරවගනිං.. ඒක අරන් යමං.. උඹල විසි අටවෙනිදා ආපු ගමන් අපි වර්ණාසි බේබිව පහුවදාම නවසීලන්තයට යවන්න ඕනේ.”….

කේසර ඉස්සරහ කොහොඹ ගහ දිහා බලාගෙන බොහොම හෙමින් ජාදු ටයි  වර්ණාසිටයි ගමන් මාර්ගය විස්තර කළා.

“ප්ලීස්.. තාත්ති..නර්මදා ආන්ටි දන්නෙත් නැහැ මේ ගැන..
මට ආන්ටිට කියලා යන්න ඕනේ..”

කියපු වර්ණාසි කේසර දිහා බලාගෙනම පුටුවෙන් නැගිට්ටා .

“එපා ..එපා ..මේ වෙලාවේ මට කිසිම කෙනෙක් විශ්වාස නෑ..
ජාදු ඇරෙන්න කාවවත් විශ්වාස කරන්න මට බෑ..කොහෙන් තොරතුරු එළියට යනවද කියලා මට තේරෙන්නේ නැති නිසා ඔයා පන්සල ගාවින් බහින එක අන්තිම භයානකයි.කර්නල් කියපු විදිහට උන් ඔයාට වෙඩි තියන්න එයාපෝට් එක අවට ඉන්නවලු.ඒ කියන්නේ උන් දන්නවා ඔයා අද  යනවා කියලා.මේක කාගේ වැඩක්ද කියලා මිනිහට ෂුවර් නැතත් ජයමහලගේ තර්ඩ් ක්ලාස් වැඩක් කියලා නම් මට හිතෙනවා.”…

කේසරගේ බය ඉස්සරහ  වර්ණාසිගේ ඉල්ලීම දිය වෙලා ගියා.

වර්ණාසි  නැවතත් පුටුවට කඩාගෙන වැටුන..

“රත්තරන් පුතේ ඔයා ප්‍රශ්නෙ තේරුම් ගත්තට ගොඩක් ස්තුතියි”..

කියලා කේසර වර්ණසිට ඉංග්‍රීසියෙන් කිව්වා.  “

පැයක් යන්න ඕනේ නැහැ… පුළුවන් තරම් ඉක්මනට පිට වෙන්න…”

කියපු කේසර  වර්ණාසිවත්  තල්ලු කරගෙන උඩ තට්ටුවට දුවගෙන ගියා. වර්ණාසිගේ ඇඳුම් කැඩුම් ලෑස්ති කරගන්න කේසරත් පුළුවන් තරමෙන් උදව් කළා.ජාදු ට හිතා ගන්න බැරි වුණා මේ මොකද්ද උනේ කියලා.. ලෑස්ති කරගන්න කියලා මහා ලොකු දෙයක් නං ජාදු ට  තිබුණේ නෑ… පුංචි සයිස් එකේ සිප් එක වහන බෑග් එකකට ජාදු ආසම ටී ෂර්ට් දෙකකුයි කලිසම් තුනකුයි තුවායකුයි දාගත්තා. උන්ඩ පුරවපු කුඩා ප්‍රමාණයේ පෙට්ටිය වෙනම දාගත්තා. ජාදු තමන්ගේ කාමරයේ ඉඳන් වාහනය ළඟට ආවා. කේසර මහා විශාල බෑග් දෙකකුත් අරගෙන වර්නාසි ත් එක්ක දුවගෙන වගේ ආවා.

“ඉක්මනින්.. අදාළ තැනට යන්න.මොනම දේකටවත් නවත්තන්න  එපා.. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නත් එපා… විස්තරයක් අහන්න යන්නත් එපා…ඒ  සති දෙක අපි හැමෝම වෙනුවෙන් ඉවසගෙන ඉමු.මේ සති දෙකෙන් පස්සේ හැම දෙයක්ම විසඳගන්න පුළුවන්…
හදිසියේ හරි පොලිසිය නැවැත්තුවොත් ජාදු .. උඹ මෙන්න මේ කාඩ් එක පෙන්නපන්..”

කියපු කේසර තමන්ගේ නිල ඇමති අවසර පත්‍රය ජාදු  අතේ තිබ්බා.

” පොලිසිය නැවැත්තුවොත් උබ ජීප් එකෙන් බහින්න එපා.ජනේලය පොඩ්ඩක් ඇරලා ඔය කාඩ් එක දීපන්.එච්චරයි..”

ඒත් එක්කම  අලුත්ම ජීප් එකක යතුරත් ජාදු අතට දුන්න.කේසරගේ ඇස් ඇතුළේ අලුත් බලාපොරොත්තු ගුලියක් හිර වෙලා තිබුණා. 

“උදේට කෑම මේ බොක්ස් එකේ තියෙනවා …”

කියපු කේසර වර්ණාසි  දිහා බැලුවා.

“මගින් කීයටවත් බහින්න එපා.මේ වාහනේ බුලට් පෘෆ්.. මොනවා හරි ෂූට් එකක් උනොත් ජාදු කියන විදිහට  පුතේ ඔයා වැඩ කරන්න ඕනේ.කරුණාකරලා මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න. “…

මුළු ලෝකෙම නතර වුණු විනාඩි විස්සකට විසි පහකකට පස්සේ වර්ණාසි  අකමැත්තෙන් අමාරුවෙන් හිත හදාගෙන තිබුණා.ජීප් රථය ළඟට ලෝකෙම කඩාගෙන වැටුණු විදිහට තමයි වර්ණාසි ආවේ.එතකොටත් ජාදු ජීප් එක ඇතුලේ ඉඳගෙන.. යන්න ලෑස්ති වෙලා හිටියා.

“ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ මයෙ  පුතේ .. මේ වාහනේ තියෙන ගැජට් එකකින් මට ඔයාලා යන ලෝකේෂන් ඔක්කොම පේනවා. එතකම් ප්‍රවේශමෙන් මගේ මැණික පරිස්සම් කරපන්…”

කියපු කේසර ජාදුගේ අතට තට්ටුවක් දැම්මා. වර්ණාසිගේ බෑග් එක ජීප් එකට දාගන්න උදව්වකුත් දුන්නා .ජාදු ට දැන් පලයන් කියන සංඥාව ඔලුවෙන් විතරක් දුන්නා.

“තාත්ති මේ… නර්මදා ආන්ටි….”

” වඳින්නම් පුතේ ඉක්මන් කරලා පලයන්….අනවශ්‍ය තැන්වල බිංදුවක්වත් නවතින්න එපා…ඔයාට තාමත් තේරිලා නෑ මම කියන්නේ මොනවද කියලා….තවම පාරෙ වාහන යන්න පටන් අරගෙන නෑ.අද පෝය නිසා පාරේ සෙනඟ අඩුයි. කතා කරන්න වෙලාවක් නෑ.. ඉක්මන් කරන්න …”

කියපු කේසර වර්ණාසිව බලෙන් වගේ ජීප් රථයට නැග්ගුවා.

” ලොකුසර්… උන් ලොකු සර්ට මොනවා හරි කලොත්.. මේ ටිකේ දිගටම මීටින් නේද..කවුද ලොකු සර්ව  රකින්න ඉන්නේ “…

ජාදු ඇහුවේ ඇත්තටමයි.කේසර තනි වෙනවා කියලා හිතුවිල්ල ජාදුට  දරාගන්න බැරුව ගියා.
ත්‍රිවිධ හමුදාවම හිටියත් තමං ළඟ ඉන්නවා වගේ කේසරව රකින්න කාටවත් බැහැයි කියලා ජාදු හිතුවා…

කේසර ජාදු  දිහා විනාඩියක් විතර බලාගෙන හිටියා. කේසරගේ ඇස්වල කඳුළු හරි ඊට මොකක් හරි සමාන දෙයක් වතුර වගේ පිරිලා තිබුනා.ඇත්තටම ඒ කඳුළුද මොනවද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නෑ.

“ජාදු … හැමදාම මගේ ගැලවුම්කාරයා වුනේ උඹ..මෙදා පාරත් උඹ තමයි මගේ ගැලවුම්කාරයා..මම කියන විදිහට වැඩේ කරපන් පුතේ…”

එහෙම කියපු කේසර තවත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී ඇස් දෙක තද කරලා වහගෙන ඔලුව දෙපාරක් හෙළෙව්වේ දැන් කතා කළා ඇති ගමන යන්න පටන් ගන්න කියන්න වගේ.

කේසර රණබාහු…තවත් සති දෙකකින් ජනාධිපති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් පුද්ගලයෙක්.මෙදා පාර මැතිවරණය ගැන කාටද කියන්න පුළුවන්?..තමන්ගේ දරුවාවත් රැකගෙන තමනුත් රැකෙන්න යන ගමනක්..
ජාදු..තමන්ගේ ස්වාමියා වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම් කෙනෙක්..ස්වාමියාවද රකින්නේ..නැත්නම් ස්වාමියාගේ දුවද කියන එක තේරුම් ගන්න බැරි වෙච්ච අවස්ථාවක්..අවසානයේදී ස්වාමියාගේ අණට කීකරු වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක්…
මේ වෙන්න යන්නේ මොකක්ද කියන එක ජාදු ට හිතා ගන්නවත් බැරුව ගියා.දේශපාලන ලෝකයේ කොයිතරම් සුළි සුළං කුණාටු වලට මුහුණ දෙන්න ජාදු පුරුදු වෙලා හිටියත් මේ විදිහ දෙයක් කරන්න තමන්ට කවදාවත් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. තමන්ගේ ස්වාමියා පණ වගේ ආදරය කරන දුවව මල් පෙත්තකටත් වඩා පරිස්සමින් තමන්ට සති දෙකක් බලා ගන්න වෙනවා කියන එක ජාදු වගේ කර්කශක හිතක් තියෙන ගලක් වගේ හදවතකට හිතාගන්න බැරුව ගියා. තමන්ගේ හැඟීම් පාලනය කරගෙන මේ සුරංගනාවියගේ ගෞරවයත් රැකගෙන ඒ සති දෙක ගෙවනවා කියන එක ජාදුවගේ සෙල්ලක්කාර හිතක් තියෙන පිරිමි පරානෙකට කොහොම ඉවසා දරා ගන්න පුළුවන් වෙයිද කියන එක හිතාගන්න බැරුව ගියා. බලු බල්ලෙක් නැති පාලු පරිසරයක සුරංගනාවියක් එක්ක…. තනිවෙච්ච ගෙයක් ඇතුලේ මොනවා නොවෙන්න පුළුවන්ද…?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles