සඳක් කළ සක්මන් – 31

අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිඵල ලබා ගත්තේ ආකාශ් ය. මම පරිගණක තිරයට හෝ නෙතු නො යොමා පාෂාණිභූත ව පසෙකට වී බලා සිටියෙමි. ආකාශ් ගේ මුවග සිනහවක් ඇඳුණේ ය. මගේ හදවතට සිහිල් සැනසිලිදායක බවක් දැනිණ.

ආකාශ් ඇවිත් මා වැළඳ ගත්තේ ය. නෙරංජලා ඉදිරියේ එය ලැජ්ජාවක් සේ දැනුණත්, ඊළඟට මා නතු වූයේ ඇගේ උණුසුම් වැළඳ ගැනීමට වූයෙන් මට හැර වෙනත් කිසිවෙකු හට ඒ ලැජ්ජාව දැනී ඇති බවක් හෝ පෙනුණේ නැත.

මා බලාපොරොත්තු නොවූ තරම් ඉහළින් මගේ ප්‍රතිඵල ලැබී තිබිණ. සාමාන්‍ය සාමාර්ථයක් වූයේ එදා අම්මා ගේ ප්‍රශ්නයත් එක්ක විභාගයට ගිය දෙවන දිනයෙහි ප්‍රතිඵලය පමණකි. කෙසේ වෙතත් පවතින තරඟකාරීත්වයත් එක්ක මගේ ප්‍රතිඵලය වෛද්‍ය පීඪයට සුදුසුකම් ලබන්නට ප්‍රමාණවත් නොවනු ඇතැයි අපට අනුමාන කළ හැකි විය.

“අපරාදෙ…ඒ සබ්ජෙක්ට් එක අවුල් වුණේ නැත්තං පූජා මේ සැරේම මෙඩිසින් සිලෙක්ට් වෙනව”

නෙරංජලා දුක් වූවා ය. නමුත් මට නම් ලද ප්‍රතිඵලය ඉහටත් උඩින් සේ දැනුණේ ය. වෛද්‍ය විද්‍යාව කෙසේ වෙතත්  වෙනත් විද්‍යා උපාධි පාඪමාලාවක් සඳහා ස්ථිර ලෙස ම මට විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකි ව තිබුණේ ය.

“පූජා ආයෙ එග්සෑම් ලියන්න. ජොබ් එක කොහොමවත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඊළඟ සැරේ මෙඩිසින් සිලෙක්ට් වෙන්න පුළුවන්”

නෙරංජලා ගුරුගේ එක හෙළා කීවා ය.

“ආයෙත්නං ඔය විභාගෙ කරන්නෑ කියල මං තීරණයක් අරගෙනමයි හිටියෙ ආන්ටි”

“ඒ මෝඩ වැඩේ කරන්නෙපා දරුවො. මැණිකක් වුණත් වටිනාකම වැඩි වෙන්නෙ කපල ඔප දාල ගත්තහම. ඔයා යන්න ඕන තැනක් තියෙනව. අමාරුවෙන් හරි එතනට ගිහිල්ලම නතර වෙන්න. වෙන දෙයක් නැතත් ඔයාට ඔයා ගැන දැනෙන අභිමානය වැඩි වෙන්නෙ එදාට”

යළිත් විභාගය කිරීම සඳහා හිත හදා ගන්නට මා පොළඹවනු වස් නෙරංජලා බොහෝ දේ කීවා ය. වෛද්‍ය උපාධියක් නැතත් මට ජීව විද්‍යා උපාධියක් හෝ හැදෑරිය හැකි වීමේ සතුට මා තුළ දෝරෙ ගලමින් තිබුණේ ය. නමුත් නෙරංජලා ට ඕන වූයේ මා ව වෛද්‍ය පීඨය තෙක් තල්ලු කර ගෙන යන්නට ය.

“ගෙදර හොස්පිට්ල් එකක් දා ගන්න කිසිම අදහසක් මට නෑ. ඒක නිසා ඔයා ආයෙ එග්සෑම් කළත් නැතත් මට ඒකෙ ප්‍රශ්නයක් නෑ පූජා. ඔයා කරන්න කැමති දෙයක් ඔයා තීරණේ කරන්න. ඔයා නිදහසේ ඒක කරන්න”

නෙරංජලා එහෙ මෙහෙ වූ අවස්ථාවක් බලා ආකාශ් කීවේ ය. 

“මට ආදරේ කරං හැමදාම වෙනස් නොවී ඉන්න පුළුවන් වයිෆ් කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් කියල මං දන්නව. ඉතිං ඔයාගෙ ඩිග්‍රි එක මොකක් වුණත් මට ඒකෙ වෙනසක් නෑ. කොහොමත් අපිට හොස්පිට්ල් එකක්නං තියෙනවනෙ”

මා ඔහු දෙස බලා උන්නේ අපමණ ගෞරවයකිනි. තමන් පෙම් කරනා ස්ත්‍රිය පිළිබඳව පිරිමියෙකුට එතරම් පුළුල් පරාසයක් තුළ  සිතිය හැකි වීම ම කෙතරම් අසිරියක් ද? 

වසර දහ තුනක් වූ පාසල් අධ්‍යාපනයෙන් පසු ලංකාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් හිමි වන්නේ ඉතා සීමිත පිරිසකට ය. ඉතා දුෂ්කර ව්‍යායාමයකින් පසු එතැනට පය තබා ගත හැකි පිරිස අතරට වැටීම ම මා වන් පවුල් පසුබිමක් ඇති කෙනෙකු ට ලොකු දෙයකි. නමුත් දෛවය එදා මා සමග සෙල්ලමක් නො කළා නම් වෛද්‍ය පීඨ සිහිනය ද සැබෑවක් වන්නට තිබිණි. 

මගේ මවු පියනට අධ්‍යාපනය ගැන ලොකු හැඟීමක් කිසි දාක වූයේ නැත. නමුත් මේ විජයග්‍රහණය නිසා ඔවුන් සතුටු  වන බවක් පෙනිණ. තාත්තා වදනකුදු නො දොඩා, බඩ පපුව පිරිමදිමින් ගෙයි ඒ මේ අත ඇවිද්දේ ය. නමුත් ඔහු ගේ ඇස් වල දීප්තියක් දකිත හැකි විය. 

විභාග ප්‍රතිඵල නිකුත් වූ බව දැන ගත් ගමන් ම උදේ පාන්දර ආච්චම්මා දිව ආවා ය.

“උඹට දොස්තර නෝනා කෙනෙක් වෙන්න පුළුවන් ද ලොකු කෙල්ලෙ…”

ඇගේ සිත් හි මා වෙනුවෙන් ඒ සා බලාපොරොත්තු කන්දක් තිබෙනු මා ඒ දුටුවේ ප්‍රථම වතාවට ය.

“දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ලකුණු පොඩ්ඩක් මදිලු අම්මෙ. ඒත් ලොක්කිට විශ්ව විද්‍යාලෙ යන්න පුළුවන්ලු”

අම්මා මා වෙනුවෙන් පැහැදිලි කළා ය. 

“අනේ කෙල්ලෙ උඹගෙ හිතේ හයියට ඔය තරං හපං කමක් කළාට..උඹ විභාගෙට ගියේ මොන ගින්දරක් පත්තු වෙවීද කියල මං ඇස් දෙකෙං දැක්කනෙ. උඹට හතරවරං දෙයියංගෙ පිහිටයි ලොක්කියෙ”

ආච්චම්මා කඳුළක් පිස ගත්තා ය. අම්මා නොඉරිස්සුමෙන් හිස ගස්සනු මා බලා ගෙන ය.

“මදැයි මැරෙන්න කලිං උඹෙං බේත් උගුරක් බීල ඇස් දෙක පියා ගන්න පුළුවන් වෙයි කියල හිතං හිටිය”

එවර ආච්චම්මා වෙතින් මා දුටුවේ ජීවිත කාලයක් මහත් අපේක්ෂාවෙන් උන් යමක් අත පොවන මානයේ දී ගිලිහී ගියා බඳු ශෝචනීය බවකි. මගේ විභාග ප්‍රතිඵල පිළිබඳව මා වඩාත් ම පසු තැවුණ මොහොත ඒ ය. මගේ පන්තියේ මිනිසුන් වෙනුවෙන් කළ යුතු යුතුකමක් තවමත් මා වෙත ඇතැයි යටි හිත හීන් හඬින් කොඳුරා කියනු මට ඇසිණ. දැඩි ආත්ම ශක්තියකින් මා දෝරෙ ගලන්නට වනවා මට දැනෙන්නට ගති. මම ආච්චම්මා ගේ අත් දෙක තදින් අල්ලා ගතිමි.

“ඊළඟ සැරේ මං එතනට යනවමයි ආච්චම්මෙ. ආච්චම්මට හුඟක් කල් මගෙ බෙහෙත් බීල ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන් වෙයි”

මා කීවා නොව මට එසේ කියවිණ. මෙතෙක් කල් ආත්මය පුරා වූ කුසීත බව කොහේ ගියා ද කියා සොයා ගත හෝ නො හැකි විය. 

මගේ තීරණය අසා ආකාශ් මඳ සිනහවක් නගා ගත්තේ ය.

“ඊළඟ සැරේ ඔයා මෙඩිසින් සිලෙක්ට් වෙන එක නතර කරන්න මොන හේතුවකටවත් පුළුවන් වෙන්නෑ”

“මේ ආරංචියෙං වැඩිපුරම සතුටු වෙන්නෙ ඔයාගෙ අම්ම”

“අපේ අම්මා මෙච්චර ඔයාට ආදරේ වෙන්න හේතුවක් මාත් තාම හොයනව”

“ඒක ඔයාට හොයා ගන්න පුළුවන් වෙන්නෑ”

“ඇයි…”

“ඒක මේ ආත්මෙට අයිති දෙයක් නෙවෙයි. ඒක සංසාර පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ. සමහර විට ගිය ආත්මෙක ඔයා ගෙ අම්ම මගෙ අම්ම වෙලා ඉන්න ඇති”

“මේ ආත්මෙත් ඒ පුරුදු ආදරෙන්ම අම්ම අපේ ගෙදරට ඔයාව බාර ගනියි”

මම වෙනදා සේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදරිපත් කරන්න ට නො ගියෙමි.

 මගේ විභාග ප්‍රතිඵලය දැන ගන්නට ඩොක්ටැර් වීනු දැක්වූයේ විශේෂ උනන්දුවකි. මේ වතාවේ මා වෛද්‍ය පීඨයට සුදුසුකම් සපුරන්නේ නැති බව දැන ගැනීම තුළ ඇය සැනසීමක් අත්වින්දා කියා සිතමි.

“දැං ඉතිං කොහොමත් ඔයාට ජොබ් එකක් තියෙනවනෙ”

ඇය නො කියා කීවේ මට ඉන් සෑහීමකට පත් විය හැකි බවක් ද?

“ඕන්නං ඉතිං බයෝ කරන්න බැරියැ…නේ…”

“ඔව් ඩොක්ටර්”

“මට පූජාගෙං දැන ගන්නත් දෙයක් තියෙනව. ඉඳ ගන්නකො”

ඒ දොස්තර විනූ මට හොඳ මූණක් පෙන්වා කතා කළ ප්‍රථම වතාව ය. නමුත් ඇය එසේ කතා කරන්නේ හොඳකට නොවන බව අනුමාන කරන්න ට තරම් මගේ ගැහැනු ඉව සමත් වූයේ ය.

“පූජා ඩොක්ටර් ආකාශ් ගෙ නේබර්ලු…නේද…”

මම යන්තම් හිස සැලීමි.

“මං එන්නංකො දවසක එහෙ…ආකාශ් ලගෙ ගෙදර ආපු වෙලාවක”

ඊටත් මගේ ප්‍රතිචාරය වූයේ මඳහසකි.

“පූජා ආකාශ් ව ළඟින් ආශ්‍රය කරනව වගේ නේද…”

ඇගේ ඒ ප්‍රශ්නය ට මා පැහැදිලි ව ම තිගැස්සෙන්නට ඇත. මේසය මත තිබූ ලිපි ගොනුව මා තදින් අල්ල ගත්තේ හිතට දැනුණ අමුත්තට ය. ඩොක්ටර් විනූ අඩ සිනහවක් පෑවා ය.

“නෑ මං එහෙම ඇහුවෙ…ඔයා යන්නෙ එන්නෙත් එයා එක්ක නිසා”

“ආකාශ් අයිය මට කතා කරන නිසයි මං..”

“හරි හරි. මං ඉතිං වැරැද්දක් කිව්වෙ නෑනෙ. ආකාශ් කියන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්න කාලෙ ඉඳලම මං ගැන බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් කියල සමහර විට පූජා දන්නෙ නැතුව ඇති”

මම බිම බලා යළිත් ක්ෂණික ව හිස නගා ඇදෙස බැලීමි. විනූ ගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් විය. මම ඊට මඳහසකින් පිළිතුරු දුනිමි.

“මං දන්නව”

එවර ඇගේ මුහුණෙන් සිනහව පැන ගිය අතර ඒ වත මඳ වශයෙන් අඳුරට හැරෙනයුරු මට දකිත හැකි විය. 

“ආකාශ් අයිය මට කියල තියෙනව”

එක පිරිමියෙකු වෙනුවෙන් ගැහැනුන් දෙදෙනෙකු අතර ඇති විය හැකි සීතල යුද්ධයකදී විනාශ වී යා හැක්කේ සිය වස් ගණනාවක් තිස්සේ ඒ ගැහැනුන් විසින් පරපුරෙන් පරපුරට ගෙන ආ, තවත් ගැහැනියක කෙරේ හදවතෙහි වන අසීමිත වටහා ගැනීම ය. එවන් මොහොතක ඇයව වටහා ගැනීම හිතා මතා ම අමතක කොට ඇය ට ද්වේශ කරන්නටත් වෛර කරන්නටත් අපි පටන් ගන්නෙමු. විනූ ට වෛර කිරීමේ චේතනාවක් මගේ තුන් හිතකවත් නොවූ මුත්, ඇගේ හිතේ දුර්වල ම තැනක් බලා පහර දී ඇය ව අඩ පණ කිරීමේ සිතිවිල්ලක් මේ මොහොතේ මා තුළ බල ගැන්වෙමින් තිබෙන්නට ඇත.

‘ආකාශ් කිව්ව ආයෙත් එ් හැඟීමෙන් ඩොක්ටර් විනූ දිහා බලන්න බෑ කියල’ කියා කියන්නට මට නො සිතුණා නොවේ. නමුත් එපමණ රළු වන්නට එපා යි මගේ ම යටි හිත මගෙන් බැගෑපත් ව ඉල්ලා සිටින්නට විණි. මම ලිපි ගොනුවත් ගෙන මේසය අසලින් නැගිට ගතිමි.

“ට්‍රයි කරපු අපේ ඉස්කෝලෙ අක්කල ලිස්ට් එකකගෙම නමුත් මට කිව්ව”

කියමින් සිනහ වෙවී මම ඇගේ කුටියෙන් නික්ම ආවෙමි. 

ඩොක්ටර් වීනු ට මා කෙරේ වූ ගැටළුව ආකාශ් බව වටහා ගන්නට මට ඊට වැඩි සාක්ෂි උවමනා වූයේ නැත. මම මගේ අසුනට ගොස් මා ගැන ම කල්පනා කළෙමි. පූජා කියන්නේ කටුක ජීවිතයකට උරුම කම් කියන පහල පාන්තික පවුලක කෙල්ලකි. ඇය වූ කලී රූප සුන්දරියක නොවේ. ඇය වූ කලී අධ්‍යාපනය අංශයෙන් අති දක්ෂ සිසුවියක ද නොවේ. නමුත් ආකාශ් සඳයුරු ගුරුගේ ඇය ට පෙම් කළේ ය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වී ඔහු ඇයට ම පෙම් කළේ මන්දැයි මම නො දනිමි. ඔහු ගේ මව් පියන්ට මගේ වන විශේෂත්වය කුමක්ද කියාත් මම නො දනිමි. ඔවුන් මට විශේෂ ආදරයක් දක්වනවා කියා පමණක් මම දනිමි.

සමහර දේවල් සිදු වන්නේ ඉරණමට ඕනෑ හැටියට ය. මගේ ජීවිතය සමගින් ඉරණම මේ කරන්නට යන සෙල්ලම කුමක්ද කියා මට තවමත් වැටහෙන්නේ නැත. ඒ කුමක් වුණත් මගේ ශක්ති ප්‍රමාණයෙන් ඊට මුහුණ දෙන්නෙමැයි මම තදින් සිතා ගතිමි.

එදා හැන්දෑවේ ගෙදර ගිය පසු මා ගුරුගේ මැදුර වෙත ගියේ, නැවතත් උසස් පෙළ විභාගය ලියා වෛද්‍ය පීඨයට සුදුසුකම් සපුරා ලන බව නෙරංජලා ඉදිරියේ පොරොන්දු වන්නට ය. ඇය ඒ පුවතෙන් ප්‍රීතියට පත් වූවා ය.

“පූජා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියල මං හිතුවෙ ඔයාට ඔයා ගැන කිසිම හීන මානයක් නොදැනෙන තැනක ඔයා ඉන්න ඕන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි”

නෙරංජලා තේ දෙකක් සාදා, එකක් මා ඉදිරියේ තබමින් ද අනෙක ඈ ඉදිරියේ තබා ගනිමින් ද මට සම්මුඛ ව අසුන් ගත්තා ය.

“මට පූජාට යෝජනාවක් කරන ඕනකම ටික කලක ඉඳං තිබුණා. ඒත් ඔයා ඒක ප්‍රතික්ෂේප කරන බව දන්න නිසයි මං නිතරම කිව්වෙ ඒ ලෙවල්ස් වලින් ඔයා උපරිමයට යන්න ඕනෙ කියල. එහෙම දවසක ඔයාට බය නැතුව මගෙ යෝජනාව පිළි ගන්න පුළුවන් කියල මං දැනං හිටිය. පූජා…මං කැමතියි ඔයා අපේ දුව වෙලා මේ ගෙදරට එනවනං. ආකාශ් ගෙ වයිෆ් වෙලා…අපේ ජීවිත වල කාලයක් තිස්සෙ තිබුණ හිස් තැනක් පුරවල දෙන්න පුළුවන් ඔයා වගේ කෙනෙක්ට නෙවෙයි ඔයාට විතරයි කියලයි මට කියන්න තියෙන්නෙ. ඔයා කැමතිද පූජා…”

තේ කෝප්පය දෙසට කඩා වැටී තිබි මගේ ගෙල කෙලින් කර ගත නො හැකිවා සේ මට දැනිණ. කෙසේ නම් මා ඇගේ මුහුණ දෙස බලන්නෙම් ද? ආකාශ් ප්‍රේමරාධනයක් කළ දා වත් මා ඒ තරම් කැළඹීමකට ලක් නොවූ බව දිවුරා කිව හැකි ය. මෙහෙම දෙයක් අභව්‍ය චිත්‍රපටයක මිස හැබෑ ජීවිතයක් මත්තේ සිදු විය හැකි යයි කෙසේ නම් විශ්වාස කරන්නෙම් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles